ඔලිම්පික් දිනය සැමරෙයි | දිනමිණ

ඔලිම්පික් දිනය සැමරෙයි

ප්‍රින්ස් ගුණසේකර
ඔලිම්පික් දින සැමරුම් උත්සවයේදී දිලිදු පවුල් වෙත වියලි ආහාර මලු බෙදා දීම ඊයේ ඔලිම්පික් නිවහනේදී සිදු විණි. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා අතින් ආහාර මලු බෙදා දීම සිදු වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. ප්‍රංශ තානාපති එරික් ලැවර්තු මහතා, ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය යන මහත්වරු ද සිටිති.

ජාතික ඔලිම්පික් කමිටුව සංවිධාන කරන ඔලිම්පික් දින සැමරුම් උලෙළ ටොරින්ටන් පෙදෙස නිදහස් චතුරස්‍ර භූමියෙන් ආරම්භ වී ඔලිම්පික් නිවහන පරිශ්‍රයේදී ඉතා ගෞරවනීය ලෙස පැවැත්විණි. ඊයේ පස්වරුවේ පැවති මේ සැමරුම් උලෙළ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්තු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

රටේ පවතින තත්ත්වය මත සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඔලිම්පික් දින සැමරුම් උලෙළ පැවැත්වූ අතර, ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා මහා ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන්ගේ ආරාධනාවෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා විශේෂ ආරාධිතයන් ලෙස එක්ව සිටියහ.

වසරක් පාසා අඛණ්ඩව සිදු කරන මේ සැමරුම් උලෙළේදී ඔලිම්පික් දිනය යනු කුමක්ද යන තේමාව ඔස්සේ විශේෂ දේශනයක් පැවති අතර, පරිසර සුරක්ෂතභාවය සංකේතවත් කරමින් පැළ සිටුවීමේ වැඩසටහනක් හා අනතුරුව දේශාභිමානී ගීත ගායනයක් ද සිදු විය. නව ක්‍රීඩා කිහිපයක් පිළිබඳ දැනුම්වත් කිරීමේ වීඩියෝ ප්‍රදර්ශනයක් ද ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංවිධාන කොට තිබිණි.

මෙයට පෙර වසරකදී පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් පොල්හේන වෙරළ තීරය පිරිසුදු කිරීම හා විනාශ වෙමින් පවතින කොරල්පර ආරක්ෂා කර ගැනීම උදෙසා ස්ථීර වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔලිම්පික් කමිටුව කටයුතු කළේය. මෙවර ඔලිම්පික් ගිනි සිළුව පෙරටු කොට ගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් ඔලිම්පික් ධාවනය නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේදී සිදු කෙරිණි.

නව අදහස දක්වන්න