චෙස් පුවරුවේ දස්කම් පෙන්වන ගිත්මිර | දිනමිණ

චෙස් පුවරුවේ දස්කම් පෙන්වන ගිත්මිර

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධාන කළ කොළඹ දිස්ත්‍රික් අන්තර් පාසල් කේවල චෙස් තරගාවලියේ අවුරුදු 7න් පහළ බාලක අංශයෙන් දස්කම් දැක්වීමට පිළියන්දල මාකන්දන ශ්‍රී සුදර්ශන ආදර්ශ මහ විද්‍යාලයේ ගිත්මිර ප්‍රනාන්දු සමත් විය.

රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පැවති තරගාවලියේදී ලකුණු 4.5ක් හිමි කර ගනිමින් ක්‍රීඩකයන් 122ක් අතුරින් හොඳම ක්‍රීඩකයන් අතරේ 10 වැනි ස්ථානයට පත් වීමට සමත් වූ ගිත්මිර සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මේ තරගාවලියට එක් වන විට ශ්‍රේණිගත කිරීම් අනුව 32 වැනි ස්ථානයේ සිටි ගිත්මිර 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒම විශේෂත්වයකි. මේ තරගාලියේ හොඳම ක්‍රීඩකයන් 11 දෙනා සමස්ත ලංකා තරගාවලිය සඳහා තෝරා ගැනිණි.

ශ්‍රී සුදර්ශන විදුහලේ පළවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගිත්මිර එක් වූ පළමු පාසල් තරගාවලිය මෙය වන අතර, එම විදුහලෙන් මේ තරගාවලියට ක්‍රීඩකයකු එක් වූ පළමු අවස්ථාව ද මෙයයි.

වයස් කාණ්ඩ 7ක් යටතේ පැවති මේ තරගාවලියේ අවුරුදු 7න් පහළ තරග සඳහා එක් වූ ගිත්මිර එහිදී තරග 6කට එක් වෙමින් තරග 4ක් ජය ගැනීමට සමත් විය. තරගයක් ජය පරාජයෙන් තෙරව නිමා කර ගත් ඔහු එක් තරගයක් පමණක් පරාජය විය.

නව අදහස දක්වන්න