පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කරයි | දිනමිණ

පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කරයි

වසර හතකට පසු පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයක් සඳහා එක් වීමට නියමිතය. ඒ සඳහා බාබර් අසාම්ගේ නායකත්වය යටතේ 18කගෙන් සමන්විත සංචිතය ප්‍රකාශයට පත් කර ඇති අතර, පාකිස්තානු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක යසීර් ශා විරාමයකින් අනතුරුව සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

අවසන් වරට පසුගිය වසරේ අගෝස්තු මස ටෙස්ට් තරගයකට එක් වූ යසීර්, 2015 වසරේ පාකිස්තාන කණ්ඩායමේ මෙරට තරග සංචාරයේ ටෙස්ට් තරගාවලියේදී ඉහළ ඉහළ දස්කම් දක්වමින් තරග 3කදී කඩුලු 24ක් දවා ගැනීමට සමත් විය.

මේ සංචාරය ආරම්භ කරමින් පකිස්තාන කණ්ඩායම ලබන මස 6 වැනිදා ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට නියමිත අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ඔවුන් ජූලි 11 සිට 13 දක්වා තෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතය.

අනතුරුව අයිසීසී ලෝක ශූරතාවලියට ඇතුළත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජූලි 16 වැනිදා ගාල්ලේදී හා දෙවැනි තරගය ජූලි 24 වැනිදා ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතය.

වසර 2019න් පසු ශ්‍රී ලංකාවේ පැවති සියලු ටෙස්ට් ක්‍රිකට් තරග කොළඹින් පිටත ක්‍රීඩාංගණවලදී පවත්වා ඇති අතර, ඒ අනුව වසර 3කට පසු මෙවර කොළඹදී ටෙස්ට් තරගයක් පැවැත්වීමේ අවස්ථාව හිමි වේ.

පාකිස්තාන පාකිස්තාන ටෙස්ට් සංචිතය:

බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන් (උප නායක), අබ්දුල්ලා ෂෆීක්, අසාර් අලි, ෆාහීම් අෂ්රෆ්, ෆාවාඩ් අලාම්, හරිස් රවුෆ්, හසන් අලි, ඉමාම් උල්-හක්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නෞමන් අලි, ෂහීන් අෆ්රිඩි, ෂාන් මසූඩ්, යසීර් ෂා, සල්මන් අලි අගා, සර්ෆරාස් අහමඩ්, සවුද් ශකීල්.

නව අදහස දක්වන්න