ඉන්දීය කාන්තාවෝ දිනති | දිනමිණ

ඉන්දීය කාන්තාවෝ දිනති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ දඹුල්ලේදී පැවති පළමු එක්දින තරගය ලකුණු 34කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.

මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් ඉන්දීය පිල දුන් ලකුණු 139ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 104ක් පමණි.

හුදෙකලා සටනක නිරත වූ කවීෂා ඩිල්හාරි නොදැවී ලකුණු 47ක් රැස් කළේ හතරේ පහර 6ක් සමඟිනි. සෙසු පිතිකාරිනියන්ට ලකුණු අතරට පිවිසීමට ඉන්දීය පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබුණු අතර, නායිකා චමරි අතපත්තුගේ ඉනිම ලකුණු 16කට සීමා විය. පන්දු යැවීමේදී රාධා යාදෙව් කඩුලු 2ක් බිඳ දැමුවාය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිමේ අංක 5 පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි ජෙමීමා රොඩ්රිගස් ඉනිම නිමා වන තෙක් කඩුල්ලේ රැඳෙමින් නොදැවී ලකුණු 36ක් සමඟ කණ්ඩායම ලකුණු 138 දක්වා ඉදිරියට ගෙන ගියාය. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 3ක් බිඳ දැමූ අතර, ඕෂදී රණසිංහ කඩුලු 2ක් දවා ගත්තාය.

මේ අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සහ මේ සංචාරයට ඇතුළත් විස්සයි20 තරගාවලිය ද ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමකින් තොරව නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය හෙට (25) දඹුල්ලේදීම පැවැත්වේ.

 


නව අදහස දක්වන්න