ආණ්ඩුව හැම දේම කරන්නේ බලය රැක ගන්නයි | දිනමිණ

ආණ්ඩුව හැම දේම කරන්නේ බලය රැක ගන්නයි

අද රටේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් බවත් අවාසනාවකට මෙන් ලක්ෂ 220ක් වූ ජනතාව මේ දේශපාලන සූදුවේ ඉත්තන් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) පැවසීය.

ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (23) පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කීවේය.

ජනතා අභිලාෂයන් යටපත් වී බලයේ සිටින පාර්ශ්වය කුමන හෝ ආකාරයකින් ජනමතය විවිධාකාර වූ ක්‍රමයකින් යටපත් කරගෙන තමන්ගේ අභිමතාර්ථ ජයග්‍රහණය කර වන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් හෙතෙම මෙහිදී කීවේය.

ආණ්ඩුව හැම දේම කරන්නේ බලය ආරක්ෂා කර ගනිමින් තමන්ගේ තැන ආරක්ෂා කර ගැනීමට මිස ජනතාව වෙනුවෙන් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා වර්තමානය වන විට රට තුළ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉවත් වීමේ සිට ව්‍යවස්ථා සංශෝධනය දක්වා වූ සෑම ක්ෂේත්‍රයකම වෙනසක් සඳහා ජන අරගලයක් පැමිණියත් අවසානයේ සාමාකාමීව පැවති ජන අරගලයට පසුගිය මැයි 9 දා අරලියගහ මන්දිරයෙන් කළු පැල්ලමක් එල්ල කළ බව පැවසීය.

විපක්ෂ නායකවරයා එම සාකච්ඡාවේදී වැඩි දුරටත් කියා සිටියේ එම අරගලයට පහරදුන් පිරිස නිදැල්ලේ සිටියදී පහර කෑමට ලක් වූ පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ මානව අයිතිවාසිකම් නිර්දය ආකාරයට උල්ලංඝනය කර ඇති බවයි.

එසේම මුළු රටම දේශපාලන ප්‍රතිසංස්කරණයක්, වෙනසක් අපේක්ෂා කළත් කිසිම ජනපදනමක් නැති පුද්ගලයකු දොරටු පාලකයා බවට පත් කර ගෙන ඇති අතර, ඔහු රාජපක්ෂ පවුල සුරැකීමේ ප්‍රධානියා බවට පත් කර දේශපාලන සූදුවක් ක්‍රියාත්මක කරවන බවත්ය.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න