කුකුළු කෑම සහ බෙහෙත් 300%කින් ඉහළ ගිහින් | දිනමිණ

කුකුළු කෑම සහ බෙහෙත් 300%කින් ඉහළ ගිහින්

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයෝ අසීරුවට

අනපේක්ෂිත ආකාරයෙන් කුකුළු මස් සහ බිත්තර අළෙවිය ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟම මාතලේ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන කුකුළු ගොවිපලවල් මේ වන විට වැසීයෑමේ තත්ත්වයකට පත්ව ඇතැයි ස්වයංරැකියාලාභී කුකුළු ගොවිපල හිමිකරුවන් පවසයි.

ඔවුන් පවසන්නේ කුකුළු කෑම සහ අවශ්‍ය ඖෂධ වර්ගයන්ගේ මිල සියයට තුන්සීයකටත් (300%) වඩා වැඩි වී යෑම නිසා සිය නිෂ්පාදන මිල වැඩි කිරීමට සිදුවීමෙන් මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවය. එමෙන්ම දැනට දිස්ත්‍රික්කයේ කුකුළු පට්ටි පාලනයෙහි යෙදෙන ස්වයංරැකියාලාභීන් පන්දහසකට අධික සංඛ්‍යාවක් සිටින බව ඔවුන් සඳහන් කරයි.

මේ වන විට වෙළෙඳපොලේ කුකුළු මස් කිලෝවක මිල රු.1000/= ඉක්මවා ඇති බව සඳහන් කරන ඔවුන් බිත්තරයක මිලද රු.45/= ඉක්මවා ඇති බව කියා සිටියි. මෙම තත්ත්වය නිසා කුකුළු මස් සහ බිත්තර මිලදීගැනීම පාරිභෝගිකයින් විසින් ප්‍රතික්ෂේප කරන බව මොවුහු පවසති.

මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් පවසන්නේ සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ආකාරයෙන් කුකුළු ගොවිපල ආශ්‍රීත නිෂ්පාදනයන්ගේ මිල ඉහළයෑම නිසා කුකුළු මස් සහ බිත්තර පාරිභෝජනයෙන් තමන්ට ඉවත්වීමට සිදු වී ඇති බවය.

මේ තත්ත්වය යටතේ බිත්තර මෙන්ම කුකුළු මස් අළෙවියද ඇන හිට ඇති බැවින් සිය නිෂ්පාදන කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑම මහත් ගැටලුවක් බවත් කුකුළුකොටු හිමියෝ වැඩිදුරටත් පෙන්වා දෙති. තත්ත්වය මෙසේ බැවින් සිය කුකුළු ගොවිපලවල් රැකගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස මොවුහු රජයෙන් ඉල්ලා සිටිති.

මාතලේ දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න