අනවසරෙන් මැණික් ගැරූ 9ක් අත්අඩංගුවට | දිනමිණ

අනවසරෙන් මැණික් ගැරූ 9ක් අත්අඩංගුවට

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ අතුශාඛාවක විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු නොර්වුඩ් පොලීසිය විසින් ඊයේ (23) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 
 
කිසියම් පිරිසක් නොර්වුඩ් පොට්රි වතුයායේ සිට කෙසෙල්ගමු ඔයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා පොට්රි ඇළ මාර්ගයේ විශාල වලවල් හරා මැණික් ඉල්ලම් සහිත පස් ඇළ මාර්ගයට සෝදමින්  සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය මෙම වැටලීම සිදුකර ඇත.
 
සැකකරුවන් සමඟ ඔවුන් මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ ගොඩදමා තිබු ඉල්ලම් පස් සහිත උර කිහිපයක් පොලිස් භාරයට ගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.පි.කොහොල්දෙණිය මහතා පැවසීය.
 
සෙසු සැකකරුවන් හැටන් , නොර්වුඩ් සහ බගවන්තලාව ප්‍රදේශවල පදිංචි අවුරුදු  25-35 වයස් වල  පසුවන පොලීසිය පවසයි.
 
මීට ප්‍රථම මෙම ඇළ මාර්ගයේම අනවසරයෙන් මැණික් ගරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයෙන් දඩ මුදල් නියම කළ පුද්ගලයින් කිහිප දෙනෙකු සිටින බවද පොලිස් ස්ථානාධිපතිවරයා කීය.
 
(අසේල කුරුළුවංශ)
 

නව අදහස දක්වන්න