රුපියල් බිලියන 03ක මානුෂීය ආධාර ඉන්දියාවෙන් දිවයිනට | දිනමිණ

රුපියල් බිලියන 03ක මානුෂීය ආධාර ඉන්දියාවෙන් දිවයිනට

ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 14,700ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 250ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 38ක් ඇතුළත් ශ්‍රී ලංකාවට ළඟා වූ මානුෂීය ආධාර තොගයක් අද(24) කොළඹ දී පිළිගනු ලැබීය.
 
ඒ  ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, වී. රාධක්‍රිෂ්ණන්, එම්. උදය කුමාර්, අංගජන් රාමනාදන් යන මහත්වරුන් සහ සෙන්තිල් තොණ්ඩමාන් මහතා ඇතුළු පිරිසක් විසිනි. 
 
මෙම මානුෂීය ආධාර තොගයේ සමස්ත වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 03ක් වේ. 
 
මෙවන් විශාල මානුෂීය ආධාර තොගයක් පරිත්‍යාග කිරීම මගින් පිළිඹිබු වන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර තිබෙන දැඩි බැඳීම සහ ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාවගේ සුබ සිද්ධිය සම්බන්ධයන් ඉන්දියානු ජනතාව දක්වන සැලකිල්ලයි. මෙම ආධාර ඉදිරි දින වලදී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිලාභීන් අතර බෙදා දෙනු ඇත. 
 
තමිල් නාඩු රජය විසින් ලබා දීමට පොරොන්දු වී ඇති සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ‍ඖෂධ ඇතුළත් මානුෂීය ආධාරයේ දෙවන තොගය මෙයයි.   
 
ඉන්දියාව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා දෙන පෙර නොවූ විරූ ආර්ථික, මූල්‍ය සහ මානුෂීය සහයෝගය 2022 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් ඉක්මවා ඇත. සමස්තයක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් ඉක්මවන ණය පහසුකම් ත්‍රිත්වය සහ ඇමරිකානු ඩොලර් බිලියන 2ක් පමණ වන විනිමය සහයෝගයට අමතරව ඉන්දියානු රජය සහ ජනතාව විසින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල රෝහල් සහ වෛද්‍යායතන වෙත ‍ඖෂධ, ධීවර ජනතාව වෙත භූමිතෙල් සහ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි ආහාර යනාදිය ද ලබා දී ඇත.

නව අදහස දක්වන්න