ජර්මනියට ආහාර හිඟයක් : සහන සේවා ආහාර මධ්‍යස්ථාන අසල ජනතාව පෝලිමේ | දිනමිණ

ජර්මනියට ආහාර හිඟයක් : සහන සේවා ආහාර මධ්‍යස්ථාන අසල ජනතාව පෝලිමේ

ජර්මනියේ උද්ධමනය පසුගිය මැයි මාසයේදී 7.9% ක් ලෙස වාර්තාගත අන්දමින් ඉහළ යෑමෙන් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින එරට ජනතාව සහන මිලට ආහාර බෙදා හරිනු ලබන මධ්‍යස්ථානවල වැඩි කාලයක් පෝලිම් ගැසී බලා සිටීමට සිදු වී ඇතැයි යුරෝනිව්ස් පුවත් සේවය වාර්තා කළේය.

‘ආහාර බැංකු‘ නමින් ලොව පුරා බොහෝ රටවල ක්‍රියාත්මක වන එම සහන සේවා ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන 960ක් පමණ ජර්මනියේ පිහිටා තිබේ. ස්වේච්ඡා සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලබන එම මධ්‍යස්ථාන සුපිරි වෙළෙඳසල් සහ ගොවීන් අතර අතරමැදියකු ලෙස ද කටයුතු කරයි. ජර්මනියේ ආහාර බැංකු මගින් ජනතාවට අඩු මිලට එළවළු, පලතුරු ඇතුළු එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව පවතින බැවින් පාරිභෝගිකයෝ විශාල සංඛ්‍යාවක් දෛනිකව ආහාර බැංකු වෙත පැමිණෙති. යුක්රේන යුද්ධයේ බලපෑම් මත පසුගිය මාසයේදී ජර්මනිය මුහුණ පෑවේ වසර 30කට පසු එරට වැඩිම උද්ධමනය ප්‍රතිශතයකටය. මේ තත්ත්වය මත ජර්මනියේ ජනතාවට සුපිරි වෙළෙඳසල්වලින් සිය අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි අන්දමින් ආහාර මිල ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ. දැරිය නොහැකි ලෙස මූලික අවශ්‍යතා මිල ඉහළ යෑම නිසා සහන මිලට භාණ්ඩ ලබාගැනීමට ආහාර බැංකු වෙත ඇදී යන අතිවිශාල ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් එළවළු, පලතුරු හා සෙසු පාරිභෝගික භාණ්ඩ ආහාර බැංකු වෙත නොලැබෙන බව ද වාර්තා වේ. එම සහන සේවා ආහාර බැංකු මධ්‍යස්ථාන අවට ජනතාව පෝලිම් ගැසී පැය ගණනාවක් පුරා බලා සිටින බවත්, බොහෝ අවස්ථාවලදී රාක්ක හිස් වීම හේතුවෙන් ජනතාවට හිස් අතින් ආපසු යෑමට සිදු වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

 

නව අදහස දක්වන්න