මාස තුනකට ඉන්ධන බද්ද අත්හිටුවන්න; අමෙරිකාවේ බලශක්ති මිල පාලනයට බයිඩ්න්ගෙන් යෝජනාවක් | දිනමිණ

මාස තුනකට ඉන්ධන බද්ද අත්හිටුවන්න; අමෙරිකාවේ බලශක්ති මිල පාලනයට බයිඩ්න්ගෙන් යෝජනාවක්

රටේ ඉහළ යන බලශක්ති මිලට සාපේක්ෂව ඇති විය හැකි උද්ධමනය මඟහරවා ගැනීමේ කෙටි කාලීන විකල්පයක් ලෙස අමෙරිකාවේ ජාතික පෙට්‍රල් සහ ඩීසල් බද්ද මාස තුනකට අත්හිටුවන ලෙස ජනාධිපති ජෝ බයිඩ්න් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. වසරක පමණ කාලයක සිට අමෙරිකාවේ පෙට්‍රල් සහ ඩීසල් ගැලුමක සාමාන්‍ය පිරිවැය දළ වශයෙන් ඩොලර් 3 සිට 5 දක්වා සීමාවක් ආසන්නයේ පවතින අතර, උද්ධමනයක් ඇතිවීමට පෙර මෙවැනි පියවරක් අනුගමනය කිරීම කාලෝචිත බව අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් බයිඩ්න්ගේ මේ යෝජනාවට කොන්ග්‍රසයේ පනතක් අවශ්‍ය වන අතර, විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ මේ බදු අත්හිටුවීමෙන් ගෘහස්ත පෙට්‍රල් සහ ඩිසල් පිරිවැයට එතරම් බලපෑමක් ඇති නොවන බවය. මේ වන විට අමෙරිකාව පෙට්‍රල් ගැලුමකට දළ වශයෙන් ඩොලර් ශත 18ක සහ ඩීසල් ගැලුමකට ඩොලර් ශත 24ක බද්දක් ක්‍රියාත්මක කරන අතර, ලබන සැප්තැම්බර් මාසය දක්වා බදු අත්හිටුවීමට ජනාධිපති බයිඩ්න් කළ යෝජනාව ක්‍රියාත්මක වුව හොත් එමගින් රජයට සිදුවන පාඩුව දළ වශයෙන් ඩොලර් බිලියන 10ක් බවට ඇස්තමේන්තු කර ඇත.

 

නව අදහස දක්වන්න