රටම කැලඹූ සුද්දගෙ කාලේ සහල් හිඟය | දිනමිණ

රටම කැලඹූ සුද්දගෙ කාලේ සහල් හිඟය

මලික් චමින්ද ධර්මවර්ධන

හාල් හිඟය අපට බලපෑවේ අදක ඊයෙක නොවේ. සහලින් ස්වයංපෝෂිත රාජ්‍යයක් ලෙස නොයෙක් විට පැවැසුණද, ඉතිහාසයේ ඇතැම් අවධිවල අප රට දරුණු ලෙස සහල් හිඟයෙන් පීඩා වින්දේය. මේ 1860 දශකය වන විට මෙරට වෙළාගත් සහල් අර්බුදයේ කතාවය.

දහනව වැනි සියවස මැද භාගය වන විට ලංකාවට සහල් ගෙන ඒම වැඩි වශයෙන් සිදු වූයේ ඉන්දියාවෙනි. එහෙත් 1864 වන විට ඉන්දියාව ගැටලු ගණනාවකට මුහුණපා සිටියේය. චීන යුද්ධය, කපු වගාවට ඇතිව තිබූ ගැටලු සහ පැවැති සාගතය නිසා ඉන්දීය ජාතිකයන් බලවත් ලෙස පීඩාවට පත්ව තිබිණි. ඒ අනුව ඉන්දියාවෙන් හාල් ගෙන්වීම දුෂ්කර වෙමින් පැවතිණි.

උදාවී පවතින තත්ත්වය මත අනාගතයේ රටේ ඇති විය හැකි අහිතකර තත්ත්වය පිළිබඳ පුවත්පත් රැසක් ආණ්ඩුවට අනතුරු ඇඟවූයේය. 1864 අප්‍රියෙල් 15 දිනැති ‘ලක්රිවි කිරණ’ පුවත්පතේ “ගොවි කර්මාන්තය” නම් ලිපිය එවැනි අනතුරු ඇගැයීමක් සහිත එකකි. වාර්තාව අනුව ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟය පිළිබඳ පෙන්වාදී තිබිණි. එමෙන්ම එයට බලපා ඇති හේතු ලෙස හරකුන් සඳහා නීති පැනවීම, කුඹුරේ වනාතට හා කණු ප්‍රවේණියට අයත් ඉඩම් රජයට ගෙවතු වගාව සඳහා විකිණීම, ගොවිතැන් කළ හැකි අයට ඉඩම් නොලැබීම, මඩ බද්ද පැනවීම, ගොවිතැන් කිරීම පහත් යන ආකල්පයක් ව්‍යාප්ත කිරීම වැනි කරුණු එම ලිපියෙන් වැඩි දුරටත් පෙන්වාදී තිබිණි.

පුවත්පත්වල වූ අනතුරු ඇඟවීම මෙන්ම සෙසු වගකිව යුතු පිරිස්ද ආණ්ඩුවට ඇතිව තිබෙන අවදානම් තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීය. එහෙත් මේ අදහස් ආණ්ඩුව නොසලකා හැරියේය. දේශීය නිෂ්පාදන නංවාලීමටද කටයුතු කළේ නැත. එහි ප්‍රතිඵලය 1866 වන විට රටේ ජනතාවට විඳ දරා ගැනීමට සිදු විය. මේ අනුව ඔක්තෝබර් මාසය වන විට සමස්ත ලංකාවම සාගතයේ ගොදුරක්ව පැවතිණි.

කෙසේ වුවත් බලයේ සිටි ආණ්ඩුව සහල් ගැටලුව විසඳීමට සාර්ථක ක්‍රම භාවිත කළේ නැත. ගත් ඇතැම් ක්‍රියාමාර්ගයද ප්‍රායෝගික නොවිණි. එලෙස අනුගමනය කළ ක්‍රියාමාර්ගයකට අනුව කොළඹ ජීවත් වූ අෙකුට හාල් බුසල් කාල බැගින් එක් වරකට මිලදී ගැනීමට පොලිසිය පහසුකම් සපයා තිබිණි. මේ ක්‍රමයද කොළඹ නගරය තුළ යම් සාර්ථකත්වයක් පෙන්නුවද, කොළඹින් පිටත සාර්ථක වූයේ නැත. කොළඹ නගරයේදී පොලිසිය මැදිහත් වුවද, ඉන් බාහිර ප්‍රදේශවල කටයුතු සිදු වූයේ වෙළෙන්දන්ගේ මාර්ගයෙනි. වෙළෙන්ඳන්ගේ හිතුමනාපයට වෙළෙඳාම සිදුවුණු හෙයින් ජනතාව පීඩාවට පත් වූහ. ඉංග්‍රීසි ආණ්ඩුවද ක්‍රියා කළේ අනුකම්පා විරහිතව බව පෙනී යයි. මේ බව 1866 ඔක්තෝබර් 25 ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පත තම වාර්තාවකින් සනාථ කර තිබේ.

“.... හාල් ගණන් බොහෝ වැඩිවී දැනට බුසලක් සිලින් 16කට විකුණති. කොළඹ හරි වීදියේ ගුදන්වල තිබෙන හාල් ටික විකිණීමට ප්‍රථමයෙන් පිටින් හාල් නොගෙනාවොත් මෙහෙත් දුර්භික්ෂයක් පටන් ගන්නවා සත්තකයි. - දුගීන්ගෙන් බොහෝ දෙනෙක් දැනට කන්නේ එක වේලයි. සමහරකුට එපමණකුත් නැහැ.”

එම වාර්තාවේම රටේ ආණ්ඩුකාරයාට සෘජු චෝදනාවක් එල්ල කරයි.

“මෙහෙම සන්ධිවලදී වෙන රටවල ආණ්ඩුකාරයෝ පීඩා විඳින්නන්ට සහාය වෙති. නමුත් අපේ රටේ ආණ්ඩුකාරයෝ මේ වන තුරුම කිසි සහායක් වීමට සිතට නොගෙන සිටින බව දැකීම අපට මහත් කනගාටුවකි...”

මේ ආකාරයෙන් හාල් පමණක් නොව, අනෙකුත් ආහාර ද්‍රව්‍යවලද මිල ශීඝ්‍රයෙන් ඉහළ නැංගේය. තත්ත්වය දරා ගත නොහැකි වූ ජනතාව ආණ්ඩුකාරයාට පෙත්සමක්ද ඉදිරිපත් කළහ. එහෙත් ඉන් පලක් වී නැත. අවසානයේ කොළඹ ස්වදේශීය වෙළෙන්ඳන් මැදිහත්ව සහල් මිලට සහනයක් දීමට උත්සාහ දරා තිබේ. 1866 ඔක්තෝබර් 25 ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පත ඒ බව මෙසේ තහවුරු කරයි.

“පසු ගිය ඉරිදා ස්වදේශික වෙළෙන්දෝ විසින් මැලේ වීදියේ සම්මුතියක් රැස් කර මෙහි පහත සඳහන් වන ප්‍රකාර පොරොන්දුවකට බැඳුණෝය. ඒ නම් කොළඹදී හාල් බුසලක් සිලින් 13කට හා මහනුවරදී බුසලක් සිලින් 16යි පැන්ස 6කට විකිණීමටත්, ඊට වැඩි ගණනකට යමෙක් විකුණන්ට යෙදුණොත්, ඔහු පවුමක දඩයකට යටහත් වෙනටත් ඕනෑය.” මේ යෝජනාව සඳහා ස්වදේශීය සියලු සහල් වෙළෙන්දන් එකඟ වූ බව කියවේ.

එහෙත් මෙකල සහල් වෙළෙඳාම පැවැතියේ විජාතික පිරිස් අතරය. එම නිසා ස්වදේශීය හාල් වෙළෙන්දන්ගේ එකඟත්වය මත සහල් මිල පහත හෙළීම සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත් ජනතාවගේ පීඩිත තත්ත්වය අවබෝධ කර ගත් ඇතැම් ධනවත්තු දුප්පතුන්ට නොමිලේ සහල් බෙදා දීමට පවා කටයුතු කළහ. එහෙත් එය, ගැටලුවට පිළියමක් නොවුණි. සාගතයද කෙමෙන් ඔඩු දුවන්නට වූයේය. ජනතා පීඩනයද ඉහළ ගියේය. සහල් හොරකම් වාර්තා වූයේය. කරත්තවලින් සහල් ප්‍රවාහනය පවා අනතුරු දායක වූයේය. ඒ අනුව කරත්තවලින් සහල් ගෙන යෑමේදී ආරක්ෂාව පිණිස පිරිස් යෙදවීමටද සිදු විය. වෙළෙඳසල් කඩා හාල් පැහැර ගැනීම් පුවත්පත් පිටු පුරා වාර්තා විය. 1866 ඔක්තෝබර් 24 වැනි දින ‘ලක්මිණි පහන’ පුවත්පත කොළඹ නගරයේ ඇතිව තිබූ තත්ත්වය වාර්තා කර තිබිණි.

“....21 වැනි දින සවස හතේ කණිසමට වාගේ බොහෝ සමූහයක් රංචු රංචු සැදී මරිය කඩේ - මරදාන - කොම්පඤ්ඤ වීදිය - කොස්ගස්ළඟ - නාගුළුගංතෙර යනාදී ස්ථානවල හාල් කඩවලට පැන හාල් උදුරා ගත්තෝය. බොහෝ කඩකාරයෝ මේ කෝලාහලයේදී තම තමන්ගේ හාල් කඩ දැඩි ලෙස වසා ගත්තෝය. ඉන් පසු 22 වැනි දින දවල් දහයට පමණ බලහත්කාරය පටන් ගෙන නාගුළුගංතෙර සහ මැලේ වීදියේද තදබල ලෙස මේ බලහත්කාරය සවස තුනේ හතරේ පමණ කාලය දක්වා පැවතුණි. මෙයින් නාගුළුගංතෙර කෝලාහලය ඉතා බරපතළ වේගන එන අතර, පාරුපාලමේ පාරුවක්ද දෙකක්ද ගලවා එගොඩින් එන සෙනඟ නැවැත්තුවේය. මැලේ වීදියේ නාටුකොට්ටයින්ගේ මහ හාල් ගබඩාවලටද, හම්බන්වැල්ලේ හම්බන්කාරයින්ගේ හාල් ගබඩාවලටද වැද රිසි පරිද්දෙන් හාල් කොල්ල කෑම කරන අතර, හාල් ගබඩා වසා ගත්තෝය. ඉන් පසුනොබැස වැසූ කඩවල් දඬුමුඟුරු ආදියෙන් ගසා බිඳ පොඩිකර දමා, හාල් කඩවල් දහයක දොළහක වාගේ හාල් සහ වෙනත් රෙදිපිලි රන් - රිදී කාසි ආදිය පවොන්ද පසළොස්දාහක් පමණ ගත්තාළු.”

“කඩය බිඳගෙන ඇතුළු වූ කල පළමුවෙන් ගිය අය තම තමන්ට අහුඋන දෙයක් රැගෙන එළියට එන කල ගෙට යන්ට බැරිව එළියේ තෙරපි තෙරපි සිටියන්ගෙන් අනිකෙක් එය උදුරා ගනී. ඔහුගෙනුත් අනිකෙක් අනිකෙක් බැගින් අතින් අතටම බොහෝ අය උදුරා ගැන්ම කළෝය. පවොන් පෙට්ටි අරන් බිම ගසා පොඩිකර පොර කකා අතින් අතට ගත්තෝළු.වෙනත් නොයෙක් අන්දමේ පටපිලි ආදි දෙය මෙලෙස මෙලෙසට පැහැර ගත්තෝළු. මේ කෝලාහල තැන්වලට පොලිස්කාරයෝ ආ නමුත් ඔවුන්ට මේ කිසිවක් සමනය කරන්නට පුළුවන් වුණේ නැත.”

23 වැනි දින පැවැති තත්ත්ව ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතට අනුව මෙසේ වාර්තා විය.

“23 වෙනි අඟහරුවාදා පනික්කිවීදිය, යොන් වීදිය, පිටකොටුව හරි වීදිය යන පළාත්වල කෝලාහලය අධික ලෙස පැවතුණි. මේ දවසේ කොල්ල ගැනීමට වඩා ගහ ගැනීම සිද්ධ වුණි. කෝලාහලය ඉතා බලගතු ලෙස පැවතුණ බැවින්, එය මැඬපවත්වන පිණිස උතුමාණන් වහන්සේ විසින් ඉංග්‍රීසි හේවායින් 50 දෙනෙක් පමණ එකී පළාත්වලට කඩිනමින් පිටත් කර හැරියේය. ඔවුන් බයිනෙත්තු ඇති තුවක්කු රැගෙන නිර්භීත ලෙස සංචාරණය කරනවා දුටු කෝලාහලකාරයෝ වහාම විසිරී ගියෝය. මෙකී කෝලාහලකාරයින්ගේ ගහගැනීමෙන් සමහර දෙනකුට බොහෝ තුවාල වුණා පමණකුත් නොව, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ව පොලිස්කාරයෝ අල්ලාගෙන ගොස් හිර අඩස්සි කරන්ටත් යෙදුණහ....”

ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය නිසා මිනිසුන් පාරට බැස්සේය. ඒ, කුසගින්නට විසඳුම් සොයන්නටය. එහෙත් හාල් ටිකක් ඉල්ලූ මිනිස්සුන්ට සුද්දාගේ ආණ්ඩුව බැටන් පොලු සංග්‍රහයක් දුන්නේය. මිනිසුන්ට පොලිසිය සිත්සේ පහර දුන් ආකාරය ‘ඥානාර්ථ ප්‍රදීපය’ වාර්තා කළේ මෙසේය.

“කෝලාහලවලදී අල්ලා හිර අඩස්සි කර සිටිය සමහර දෙනකුට ආණ්ඩුව විසින් තදබල දඬුවම් පමුණුවන්නට යෙදුණාහ. සමහරකුට පාර 20 බැගින් තළන්නටත් තවත් සමහරකුට දඩ ගසා බරපතළ වැඩ ඇතිව තුන් මාසෙට හිර අඩස්සි කරන්ටත් යෙදුණහ.”

ගාල්ල සහ මහනුවර ප්‍රදේශවලද මෙවැනිම තත්ත්ව ඇතිවී තිබේ. මහනුවරදී නම් වතු කම්කරුවන් පමණක් කලහකාරී ලෙස හැසිරුණු බව වාර්තා වේ.

හාල් අර්බුදයෙන් රට පීඩාවට පත් වෙද්දී මෙරට ආණ්ඩුකාරයා වූයේ සර් හර්ක්‍යුලීස් ජෝන් රොබින්සන්ය. අර්බුදයට සම්බන්ධයෙන් ආණ්ඩුකාරයාගේ ස්ථාවරය වූයේ මෙරට ගොවීන්ගේ අලසකම නිසා හාල් හිඟයක් ඇතිවූ බවය. ඔහු එම කතාව ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදීද අවධාරණය කළේය. ආණ්ඩුකාරයාගේ අදහසට එරෙහිව නොයෙක් චෝදනා එල්ල වන්නට විය. එකල පුවත්පත් මඟින් ආණ්ඩුකාරයා දැඩි ලෙස විවේචනය කර තිබිණි. ඒ අතර 1866 ඔක්තෝබර් මස 11 වැනි දින ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පත “ආණ්ඩුකාර උතුමාණන් වහන්සේගේ කතිකාව” යනුවෙන් කතුවැකියක් පළ කර මෙසේ කියා තිබේ.

“ගොයි කර්මාන්තය දියුණුවට මෙරට වාසීන්ගේ අලසකම සහ මන්දෝත්සාහය බාධාවක් යයි උතුමාණන් වහන්සේ විසින් කියා තිබෙන නුමුත්, වී ගොවිතැනට වැවු අමුණු බන්දවා අනුබල දුන්නේ වී නම් අලසයෝ දැන් සිටින ප්‍රමාණය ඉතා ස්වල්ප කලකින් අඩු වෙනවාට අනුමාන නැත. පිටරටින් ගෙනෙන හාල් පිටරටින් ඇවිත් සිටින්නන්ටම පමණක් නොව, නුවරවල් සමීපයේ සිටින බොහෝ ස්වදේශවාසීන්ගේ ආහාරය පිණිසත් වියදම් වෙයි. වී ගොවිතැනට යෝග්‍ය බිම් විකිණීමට පහසු විධියක් සලස්වා ඒවා වැඩ කිරීම අත් නොහරින ලෙසට රේන්දයක් නියම කළේ නම් බොහෝ දෙනා ඒවා වැඩ කරන්ටම ඕනෑ කරනවා ඇත.”

එදා සහල් අර්බුදයට හේතු වූයේ බ්‍රිතාන්‍යයන් ගෙන ගිය වැරැදි කළමනාකරණ ක්‍රමයය. එලෙස ලාංකිකයන්ගේ බත්පතේ වැලි දැමූ බ්‍රිතාන්‍ය පාලකයෝ, ස්වදේශීකයන්ගේ අලසකම නිසා සාගතයෙන් පීඩාවට පත්ව සිටින බව පමණක් පෙන්වා දීමට කටයුතු කළහ.

නව අදහස දක්වන්න