ඕනෑම කෙනකුට කාර්මික සංවර්ධන මණ්ඩලයේ දොරටු විවෘතයි | දිනමිණ

ඕනෑම කෙනකුට කාර්මික සංවර්ධන මණ්ඩලයේ දොරටු විවෘතයි

නුවන් මහේෂ් ජයවික්‍රම
කාර්මික සංවර්ධන මණ්ඩලය, තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ මොහාන් ගුණසිංහ

වර්තමානය වන විට මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් දක්නට ඇත. විශේෂයෙන් දේශීය වශයෙන් නිපදවිය හැකි සියල්ල ආනයනය නවතා දැමීමට ඇති ඉඩ පිළිබඳ ඒ අනුව සොයා බැලේ. එහිදී විවිධ ආනයන ආදේශක නිපදවීමේ තාක්ෂණය ප්‍රචලිත කිරීමේ ප්‍රයත්නයේ නිරත කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) කාර්යභාරය සුවිශාලය. මේ, ඒ පිළිබඳ එහි තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ මොහාන් ගුණසිංහ මහතා සමඟ කළ සංවාදයකි.

- අපෙන් අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සහතිකයක්
- පුහුණුවෙන් පසු ගැටලු නිරාකරණයට මඟ පෙන්වනවා
-  කෙටිකාලීන සහ දිගු කාලීන තාක්ෂණික වැඩමුළු රැසක්

තාක්ෂණය රටක දියුණුවට සුවිශේෂයි. එහෙත් තවම මෙරට සම්ප්‍රදායික දැනුමෙන් වැඩ ගැනීමට තරම් දියුණු තාක්ෂණයක් බොහෝ විට භාවිතයට නොගන්නා බවට විද්වතුන් දොස් නඟනවා නේද?

ඒ පිළිබඳ උගතුන්ගේ විද්වතුන්ගේ පර්යේෂකයන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇති බව පෙනෙනවා. එය ඉතා වැදගත්. ඒත් කාර්මික සංවර්ධන මණ්ඩලය දිගු කලෙක පටන් රට පුරා ඒ පිළිබඳ වැඩමුළු පවත්වමින් සිටිනවා. එහිදී සුදුසුකම් පිළිබඳ එතරම් සොයා නොබැලෙන්නේත් මෙරට ප්‍රජාව නවීන කාර්මික දැනුමෙන් සන්නද්ධ කරවීමටයි. දැනට කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත අයට නවීන තාක්ෂණික හා ව්‍යාපාරික දැනුම දීමත් එහි තවත් අරමුණක්. මුදල් ඇති වගේම නැති, අධ්‍යාපන සහතික ඇති, නැති කාටත් එක සේ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ දොරටු විවෘතයි. දැනුම ප්‍රාග්ධනය වන යුගයක ජීවත් වන කාටත් නිසි මඟ පෙන්වීම් කිරීම අපේ අරමුණක්.

ඒ අනුව අධ්‍යාපන සුදුසුකම්, වයස් සීමා ආදියත් නොතකා බොහෝ පාඨමාලා සහ පුහුණු වැඩමුළු කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් පවත්වනවා. ඉතා සහන අයකිරීම් යටතේ නවීන තාක්ෂණික දැනුම ප්‍රවීණ දෙස්, විදෙස් උපදේශකවරු හරහා සැපයීමට එහිදී කටයුතු කෙරෙනවා. විශේෂයෙන් රාජ්‍ය වගකීම පෙරදැරිව, රාජ්‍ය ප්‍රතිපත්තිවලට සහායක් වීමේ අරමුණින් යුතුවයි ඒ කටයුතු කෙරෙන්නේ. මෙකල ආනයන ආදේශක නිපදවමින් රජයේ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළට දිරි දීමට කාර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් සෙසු තාක්ෂණික දැනුම ප්‍රවර්ධනය කිරීමේ ජාතික මෙහෙවරට ඇප කැපවී සිටිනවා. ඒ වෙනුවෙන් ඉහළ ඇගයීම් මේ ආයතනය දිනාගෙන තිබෙනවා.

ඒ පිළිබඳ තවදුරටත් විස්තර කළ හැකිද?

තාක්ෂණික සහාය ජනතාවට සැපයීමේදී සැලසුම් සහගතව විද්‍යාර්ථින්ගේ පහසුව පිණිස විවිධ අංශ ඔස්සේයි අප ක්‍රියාත්මක වෙන්නේ. කෙටිකාලීන සහ දිගුකාලීන වශයෙන් අපේ තාක්ෂණික වැඩමුළු පැවැත්වෙනවා. කෙටිකාලීනව සහතික පත්‍ර පාඨමාලා සඳහා මෙකල ජනතාවගේ වැඩි උද්යෝගයක් ඇති බවක් පෙනෙනවා. ඒ අනුව දිවයින පුරා විහිදුණු අපේ දිස්ත්‍රික් ශාඛා ජාලය සමඟ එක්ව මෙරටට අතිශය වැදගත් බවට හඳුනාගත් අංශවලින් ප්‍රමුඛතා පදනම මත පුහුණු වැඩමුළු පවත්වනවා. එක්දින පුහුණු පාඨමාලාවලට සහභාගි වීමට වැඩි දෙනකු අපේක්ෂාවෙන් සිටිනවා. ඒ හැරෙන්නට දින කිහිපයකින් හමාර කෙරෙන වැඩමුළු ද තිබෙනවා. අන්තර්ජාතික පිළිගැනීමක් සහිත වටිනා සහතිකයක් සාර්ථකව එහි කටයුතු හමාර කරන තැනැත්තන්ට ලැබෙනවා. ඒ කෙටිකාලීන සහ සති අන්ත පාඨමාලා වශයෙනුයි.

අනෙක, පූර්ණකාලීන පාඨමාලා. නවීන වැඩ ලෝකයට ගැළපෙන පරිදි නව අංග එක් කෙරෙමින් කාර්මික සංවර්ධන මණ්ඩලය පාඨමාලා පවත්වාගෙන යනවා. එහිදී ඉලක්ක කෙරෙන්නේ තරුණ පරපුරයි. නේවාසික පහසුකම්, නිදහස් වාර ප්‍රවේශ පත්‍ර ආදි පහසුකම් මේ අනුව විද්‍යාර්ථින්ට ලැබෙනවා. විශේෂයෙන් නුපුහුණු ශ්‍රමිකයන්ට වඩා පුහුණු ශ්‍රමිකයන්ට සංවර්ධිත රටවලින් වැඩි ඉල්ලුමක් පවතිනවා. මෙරට තරුණ පරපුර උගත්, බුද්ධිමත් ඉතා ඉක්මනින් යමක් වටහා ගෙන ඒ අනුව නිෂ්පාදන එළිදැක්විය හැකි අය වන බවට පිළිගැනීමකුත් ඒ රටවලින් තිබෙනවා. එය මෙරට විදේශ විනිමය ඉපයීමේ මංපෙත් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙන මෙකල ඉතා වැදගත්.

පුහුණු පාඨමාලා වර්ග කෙරෙන්නේ කුමනාකාරයෙන්ද?

මූලික වශයෙන් ඒකක 5කට පාඨමාලා බෙදා වෙන් කර තිබෙනවා. එනම්, ආහාර නිෂ්පාදනය, තෙල් හා කෙඳි, රසායනික, ගොඩනැඟිලි ද්‍රව්‍ය හා ඛනිජ සහ පරිගණක වශයෙන්.

ආහාර නිෂ්පාදන ඒකකය මඟින් දෙස් විදෙස් වෙළෙඳපොළ ජය ගැනීමට හැකි අයුරින් ආහාරපාන නිෂ්පාදනයටත් එහිදී නවීන තාක්ෂණය සමඟ අලුත් ආහාර වට්ටෝරු ආදිය සොයා යෑමටත් විද්‍යාර්ථින් පුහුණු කෙරෙනවා.

විශේෂයෙන්ම ඉතා විශාල රැකියා ප්‍රමාණයක් දෙස් විදෙස් වශයෙන් මේ අංශය සතුයි. ආනයන ආදේශක පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙන මෙකල ආහාරපාන ක්ෂේත්‍රයෙන් වැඩි දායකත්වයක් දීමටත් පුළුවන්. මහ බැංකුව මඟින් හඳුන්වා දී තිබෙන සහන ණය ‍යෝජනා ක්‍රමය යටතේ අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමටත් මේ අනුව රජයේ අතහිත ලැබෙනවා. ඊට උදාහරණ වශයෙන් මඤ්ඤොක්කා සහ එම පිටි නිෂ්පාදන වැඩමුළුව හඳුන්වා දෙන්න පුළුවනි. දිගු කාලයක් ආරක්ෂිතව පවතින වැස්මක් ආලේප කිරීමෙන් පසුව මඤ්ඤොක්කා අපනයනය කළ හැකියි. එම පිටි අපනයනයටත් විශාල උනන්දුවක් බොහෝ දෙනකු තුළ තිබෙනවා. සබන්, කොස් ආශ්‍රිත නිෂ්පාදන, එළවළු පලතුරු විජලනය, හඳුන්කූරු නිෂ්පාදනය, මෘදු හා දැඩි දැවවලින් ගෘහ භාණ්ඩ නිපදවීම, කුරුඳු, තැඹිලි ආදියෙන් අගය එකතු කිරීමේ හා කල්තබා ගැනීම ආදී වැඩමුළු, පුහුණු පාඨමාලා කෙරෙහි මෙකල වැඩි ප්‍රවණතාවක් පවතිනවා. ජෑම්, කෝඩියල් ආදිය සැකසීමත් එලෙසමයි. මොරටුව-කටුබැද්ද ප්‍රධාන කාර්යාලයේදිත් දිස්ත්‍රික් කාර්යාලවලත් ඒ පුහුණු කිරීම් කෙරෙනවා.

අමුද්‍රව්‍ය, ලිපි ද්‍රව්‍ය, නවීන තාක්ෂණය, ආහාර පාන ආදි පහසුකම් සහිතව සහන ගාස්තු යටතේ ඒ පාඨමාලා පැවැත්වීම පිළිබඳ බොහෝ දෙනකුගේ පැසසුම් කාර්මික සංවර්ධන මණ්ඩලයට නිතර ලැබෙනවා.

එසේම, මෙවැනි පාඨමාලා හරහා ලද දැනුමෙන් අපනයන ක්ෂේත්‍රයටත් පිවිසි බොහෝ දෙනකු සිටිනවා. තාක්ෂණයට අමතරව ව්‍යවසායකත්ව හා භාෂා දැනුම, උපදේශනය, ප්‍රමිති හා පිරිවිතර, ආහාර සුරක්ෂිතතාව, ව්‍යාපෘති වාර්තා සැකසීම ආදිය පිළිබඳත් දැනුවත් කෙරෙන නිසා වැඩි දෙනකුගෙන් IDB කෙරෙහි වැඩි පැහැදීමක් පෙනෙනවා.

පුහුණුවෙන් පසුවත් පසු විපරම් කරමින් ගැටලු නිරාකරණයට මඟ පෙන්වීමත් අපෙන් ලැබෙනවා. කාර්මික තාක්ෂණ ආයතනය වැනි වෙනත් නවීන තාක්ෂණය හා කටයුතු කරන ආයතන සමඟ අපේ නිරන්තර සහයෝගය හරහා විද්‍යාර්ථින්ට වඩාත් සෙත සැලසෙනවා. බොහෝ දෙනකුට පූර්ණ කාලීන පාඨමාලා ගාස්තු වශයෙන් වැය කළ මුදල රැකියා වෙළෙඳපොළේදී උපයන එක් මාසික වැටුපකට සමානයි. එවැනි ඉහළ වටිනාකම් සහිත පාඨමාලා තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය පවත්වන්නේ.

තෙල් හා කෙඳි වර්ගවලටත් අපනයන වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් දක්නට පුළුවන්. පොල්තෙල්, කොහු කෙඳි, කෙසෙල් කෙඳි, කුරුඳු, පැඟිරි ආදියෙන් අගය එකතු කිරීමේ නිෂ්පාදන බිහිකිරීමට එහිදී මඟ පෙන්වනවා. එම ක්ෂේත්‍ර විදේශ විනිමය මෙරටට අද්දවා ගැනීමේදී ඉතා වැදගත්. වගා මලු නිපදවීමේ කෙටිකාලීන පාඨමාලාවෙන් කඩිනම් වගා වැඩපිළිවෙළට දිරි දීමටත් විද්‍යාර්ථින්ට වරම් ලැබෙනවා.

රසායනික ක්ෂේත්‍රය යටතේ ඉටිපන්දම්, සුවඳ කූරු, ඩිටර්ජන්ට් කුඩු, තීන්ත, තිනර් ආදිය නිෂ්පාදනයත් පුහුණු කෙරෙනවා. ඊට භාවිත කරන ඇතැම් අමුද්‍රව්‍ය ආනයනය කෙරෙන බවත් ඇත්තක්. එහෙත් ආනයන ගැටලු හා එම වියදම් අධික වී තිබෙන මෙකල වුවත් ඉන් රටට සෙතක් අත් වෙනවා. වැඩි ආදායමක් ඉපයීමටත් වරම් ලැබෙනවා.

ගොඩනැඟිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයත් රටකට ඉතා වැදගත්. විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් උපාංග නිපදවන්නන්ගෙන් එම පුහුණු වැඩමුළු කෙරෙහි වැඩි ආකර්ෂණයක් වෙනවා. බ්ලොක් ගල්, කම්බි කණු, ළිං වළලු, කොන්ක්‍රීට් පයිප්ප ආදිය ඊට අයත්. ඉහළ ආදායමක් ඉන් ඉපයිය හැකියි. නුපුහුණු ශ්‍රමිකයන් වශයෙන් විදෙස්ගත වීමෙන් ලැබෙනවාට වඩා වැඩි වැටුපක් මෙරටදී මෙවැනි පාඨමාලා හැදෑරීමෙන් ඉපයිය හැකියි. ව්‍යවසායකයකු වශයෙන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීමටත් ඉන් මඟ පෑදෙනවා.

පරිගණක තාක්ෂණික අංශය යටතේ ජාලකරණ හා දෘඨාංග ආදී පාඨමාලා පැවැත්වෙනවා. එය සෙසු බොහෝ පාඨමාලාවල ඵලදායිතාව හා කර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමේදී වැදගත්.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පුහුණු ක්ෂේත්‍රයට වාර්ෂිකව දක්වන දායකත්වය කෙබඳුද?

වාර්ෂිකව 3000 ඉක්මවූ විද්‍යාර්ථින්ට ප්‍රායෝගිකවත් ඒ හැරෙන්නට මාර්ගගතව තවත් සෑහෙන පරිසකටත් දැනුම බෙදා දීමට කටයුතු කරනවා. ඉදිරියේදී තවත් වැඩි දෙනකුට එම අවස්ථාව සලසා දීමටත් කටයුතු යොදා තිබෙනවා. ඉකුත් දෙවසරක පමණ කාලයේදී කොරෝනා වසංගතයත් වෙනත් සමාජීය බලපෑම් ආදියත් පැවතුණා. එහෙත් එකලත් ඉහළ සාධනීය තත්ත්වයක් අපට වාර්තා කළ හැකි වුණා. තවදුරටත් රජයේ ඇල්ම බැල්ම නොඅඩුව කාර්මික සංවර්ධන ක්ෂේත්‍රයට අවශ්‍යයි. ඒ කෙරෙහි බලධාරින්ගේ නිසි අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරනවා.

ආයතනික මෙන්ම පරිබාහිර සම්පත් දායකයන්ගේ දායකත්වය ලැබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නවෝත්පාදකයන් ආදින් ද පාඨමාලා උපදේශකවරු වශයෙන් එක් වෙනවා. ඉකුත් සමයේදී ඉන්දියාවේදිත් පුහුණු සැසි පවත්වමින් මෙරට කාර්මික ක්ෂේත්‍රයේ උන්නතියට කටයුතු කෙරුණා. තිරසර අනාගතයකට විද්‍යාව හා තාක්ෂණය අපේ දැක්මයි. ඒ වෙනුවෙන් ඉදිරියටත් ඇප කැප වන IDB සෙවණට අපි මෙරට ශ්‍රම බළකායට ආරාධනා කරනවා.

නව අදහස දක්වන්න