හැංගූ ඩොලර් එළියට ගන්නා ක්‍රම | දිනමිණ

හැංගූ ඩොලර් එළියට ගන්නා ක්‍රම

අපනයනකරුවන් විසින් මෙරටට රැගෙන ආ යුතු මුදල් තම නමින් විදේශ රටවල ගිණුම් තුළ තැන්පත් කර ඇති බව වාර්තා වේ. සමහර අවස්ථාවලදී තමන්ට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් එම මුදලින් කොටසක් වැය කරන බව ද පැවසුව ද එය අනුමත ක්‍රමවේදය නොවේ. මෙම මුදල් විවිධ ජාවාරම් සඳහා යොදා ගැනීමට ඇති අවස්ථා ද බැහැර කළ නොහැකිය. 

අද ශ්‍රී ලංකාව මෑතකදී සිටින අර්බුදය දෙස විමසිලිමත්ව බැලූ විට රට ඉදිරියට පවත්වා ගෙන යෑම විශාල අභියෝගයක් ලෙස සැලකීමට සිදු වී තිබේ. පොහොර හිඟය නිසා ආහාර අර්බුදයක් ඇතිව තිබේ. මේ වන විටත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු සියලු ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබේ. ඉන්ධන අර්බුදය නිසා රාජ්‍ය සේවය පවත්වා ගෙන යෑම අභියෝගයක් වී තිබේ. රටේ ව්‍යාපාර බොහෝමයක් කඩා වැටී ඇති අතර රැකියා අහිමි වූ ප්‍රමාණය ද අතිවිශාලය.

මෙරටට ඩොලර් හෙවත් විදේශ විනිමය ලැබෙන ආකාර කීපයක් තිබේ. විදේශ ණය ඉන් මුල් තැනක් ගන්නා අතර, පසුගිය සියලු රජයන් අසීමිතව සිදු කළ ණය ගැනීම් හේතුවෙන් ලක් රජය ණය උගුලක හිර වී ඇත.

අර්බුදය ඇතිවීමට පෙර විදේශරටවල සිටින මෙරට ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණ විදේශ විනිමය ප්‍රමාණය ඉහළ අගයක් ගත්තේය. ලොව පුරා ඇති වූ හදිසි කොරෝනා වසංගතයත් සමඟ සිය රැකියාවන් පවා අතහැර මෙරට පැමිණි ලක්ෂ සංඛ්‍යාත විදේශ රැකියාවල නියුතු වූවන්ගෙන් යම් ප්‍රමාණයක් නැවත සිය රැකියා ස්ථාන වෙත වාර්තා කළද, පෙර මෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට එවීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

මෙරට සිට විදේශ සමාගම් වෙත සේවය සපයා රටට විදේශ විනිමය උපයන විශාල පිරිසක් සිටින අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනකු පරිගණක ඉංජිනේරුවන් ය. විදේශ මුදලින් වැටුප් ලබන ඔවුන් ලබන මාසික වේතනය රුපියල් ලක්ෂ පහ ඉක්මවයි. මෙමඟින් රටට ලැබෙන වාර්ෂික විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකන් ඩොලර් බිලියන 1.8ක් පමණ වේ. මෙම ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමෙන් මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

අපනයන දිරි ගැන්වීම

සංචාරක කර්මාන්තය මඟින්ද රටට විදේශ විනිමය විශාල වශයෙන් ලැබේ. කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යෑමට පෙර එනම් 2019 වර්ෂයේ මුල් කාර්තුවේ මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය අතිවිශාලය. රටට ගොඩබාන සෑම ගුවන් යානයකින්ම පැමිණෙන මගීන්ගෙන් 75%කට වඩා වැඩි පිරිසක් විදේශීය සංචාරකයන්ය.

කොරෝනා වසංගතයෙන් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් තිබිණ. එම තත්ත්වය ඉන් පසු ඇති වූ දේශපාලන සහ ආර්ථික අර්බුද ඉදිරියේ සංචාරක කර්මාන්තය ශීඝ්‍ර බිඳ වැටීමකට ලක් විය. එය බිඳවැටීමත් සමඟ මෙරටට ගලා ආ විදේශ විනිමය ප්‍රමාණය නතර විය. රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය සීමිත නිසා බලාපොරොත්තු වන සහනයක් නොලැබිණි.

මෙවැනි පරිසරයක මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රැගෙන එන අපනයන ක්‍රියාවලිය පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතුය. පැවති බොහෝ රජයන් මඟින් අපනයන කටයුතු දිරි ගැන්වීම සඳහා විවිධ සහන, උපකාර, නිතිරීති ලිහිල් කිරීම් ආදිය අපනයන ක්ෂේත්‍රය වෙත සපයා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට ශ්‍රී ලංකාව හොඳ අපනයන වෙළෙඳපොළක් බවට පත්ව තිබේ.

මේ පිළිබඳ ගැඹුරින් විග්‍රහ කර බැලූ විට අද මෙරටින් අපනයනය නොකරනුයේ මොනවා දැයි සිතා ගැනීමට අපහසුය. අතීත කාලයේ තේ, පොල්, රබර් යන දෑ ප්‍රධාන අපනයන භෝග බවට පත්ව තිබුණ ද අනතුරුව මැණික් හා ස්වර්ණාභරණ ද ඒ සඳහා එකතු වුණි. මෑත කාලයේ නිමි ඇඳුම් අපනයනය කිරීමෙන් ද විශාල මුදලක් සපයා ගත හැකිව තිබේ.

අර්බුදයෙන් මිදෙන මඟ

2018, 2019, 2020 වර්ෂවල සිදු කළ අපනයනවල වටිනාකම සැලකිල්ලට ගත් විට, එය ශ්‍රී ලංකාව තුළ සිදු වූවක් දැයි සැක ඇති විය හැකිය. 2018 වර්ෂය තුළ රුපියල් ට්‍රිලියන 1.89ක වටිනාකමකින් යුත් භාණ්ඩ මෙරටින් අපනයනය කළ අතර, 2019 වර්ෂයේදී එය ට්‍රිලියන 2.1ක් විය. කොරෝනා වසංගතයෙන් රට වෙළී තිබියදී පවා 2020 වර්ෂයේදී මෙරටින් සිදු කළ අපනයනයන්ගේ වටිනාකම රුපියල් ට්‍රිලියන 1.83ක් විය. අපගේ අපනයන අතුරින් වැඩිම වටිනාකම නිමි ඇඳුම්ය. මෙයට අමතරව මස් වර්ග, ධාන්‍ය, ආහාර ද්‍රව්‍ය, පලතුරු සහ ඛනිජ ද්‍රව්‍ය ඇතුළු බොහෝ දේ අපනයනය කරනු ලැබේ. මේ තත්ත්වය සලකා බැලීමේදී මෙරටින් සිදු කරනු ලබන අපනයන වෙනුවෙන් මෙරටට ලැබිය යුතු විදේශ විනිමය නිසි ලෙස මෙරටට ලැබුණ හොත් පවතින ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට මිදිය හැකි බව පැවසිය හැකිය. මින් ගම්‍ය වන්නේ අප රටින් කොතරම් භාණ්ඩ අපනයනය කළද ඒවා සඳහා ලැබිය යුතු නියමිත මිල මෙරටට නොලැබෙන බවයි.

1989 වර්ෂයේ අප රේගු සේවයට සම්බන්ධ වූ අවධියේ සෑම අපනයනයක් වෙනුවෙන්ම ආනයන අපනයන පාලකගේ මෙහෙයවීම මත අදාළ වාණිජ බැංකු වෙතින් HQ බලපත්‍රයක් ගත යුතුව තිබුණි. යම් අපනයනකරුවකු වාණිජ බැංකුවක් වෙත ගොස් තමා විසින් අපනයනය කිරීමට සූදානම් වන ද්‍රව්‍යයයේ හෝ භාණ්ඩයේ තොරතුරු, වටිනාකම සහ අපනයනය කරනු ලබන රටේ ගැනුම්කරුගේ විස්තර මෙන්ම එම භාණ්ඩ රැගෙන යනු ලබන නැවේ විස්තර ද බැංකුව වෙත දිය යුතුයි.

තොරතුරු අනුව බැංකුව විසින් භාණ්ඩ අපනයනය කරනු ලබන රට, ගොඩබාන නැව්තොට, භාණ්ඩ රැගෙන යන නැවේ නම, එරට ආනයනකරුගේ විස්තර සහ බැංකුවේ තොරතුරු, අපනයනය කරනු ලබන ද්‍රව්‍යයේ පොදි ගණන සහ වටිනාකම ආදිය HQ බලපත්‍රය තුළ ඇතුළත් කර අපනයනකරු වෙත ලබාදේ. මෙය ලබාගත් අපනයනකරු නියමිත රේගු සටහන්කරයක් සම්පූර්ණ කර රේගුව වෙත ඉදිරිපත් කළ අතර, රේගු කටයුතු නිම වීමෙන් පසු භාණ්ඩ අපනයනය කරනු ලබයි. එම භාණ්ඩ නැව්තොටින් පිට වූ පසු රේගු නිලධාරීන් විසින් ඒ පිළිබඳ සමීක්ෂණ කර සත්‍ය ලෙස අපනයනය කළ භාණ්ඩ ප්‍රමාණය HQ බලපත්‍රය තුළ සටහන් කර අදාළ වාණිජ බැංකු වෙත යොමු කරයි. එම තොරතුරු මත පිහිටා අපනයනය කළ භාණ්ඩවල නියම වටිනාකම මෙරටට ගෙන්වා ගැනීම ආනයන අපනයන පාලකගේ අධීක්ෂණය යටතේ වාණිජ බැංකු මඟින් සිදු කරනු ලැබීය.

1990 දශකයේ මැද භාගයේ අපනයනකරුවන්ගේ ඉල්ලීම මත එවකට පැවති රජය මඟින් මෙම ක්‍රමවේදය අහෝසි කරන ලදි. ඒ අනුව භාණ්ඩ අපනයනය සඳහා HQ බලපත්‍රයක් අවශ්‍ය නොවීය. අපනයනය කරනු ලබන භාණ්ඩවල වටිනාකම පිළිබඳ දත්ත ඇතුළත් කිරීම සහ දත්ත විශ්ලේෂනය කිරීම පමණක් රේගු සංඛ්‍යාලේඛන අංශයට පැවරිණි.

මේ නිසා බොහෝ ප්‍රමුඛ පෙළේ අපනයනකරුවන් පවා, සිය අපනයනවලින් මෙරටට රැගෙන ආ යුතු මුදල් විදේශ බැංකුවල තැන්පත් කර තැබීමට කටයුතු කරන ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරටට ලැබිය යුතු නියමිත විදේශ විනිමය ප්‍රමාණය නොලැබිණි. මෙලෙස ප්‍රසිද්ධියේ විනිමය වංචාවන් සිදු කිරීමට ඔවුනට හැකි විය. අතීතයේ පැවති විනිමය නීතිය අනුව යම් අයකු විනිමය වංචාවක් සිදු කරනු ලැබුව හොත් එය අපරාධ වරදක් ලෙස සැලකිණි. රජය මඟින් විනිමය පාලන දෙපාර්තමේන්තුව අහෝසි කර අනවශ්‍ය ලෙස විනිමය කටයුතු ලිහිල් කිරීම නිසා වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවී ඇති අතර, එනිසාම රට දැඩි විදේශ විනිමය අර්බුදයකට ලක්ව ඇති බව පැවසිය යුතුයි.

සහන පොලියට ණය

අපනයනකරුවන්ට දිරි දීම සඳහා රජය විසින් විවිධ පහසුකම් සපයා තිබේ. ඒ වෙනුවෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය පිහිටුවා ඇත. විනිමය නීති ලිහිල් කර තිබේ. අපනයන කටයුතුවල නිරත වන්නන් සඳහා සහන පොලියට ණය දීම සිදුවේ. ඉඩකඩම්, ගොඩනැඟිලි ආදිය දී ඇති අතර තීරුබදු සහන යටතේ වාහන සපයා ගැනීමට ක්‍රමවේද සකස් කර දී තිබේ. අපනයනකරුවන් දිරිගැන්වීම සහ ඇගයීම සඳහා රුපියල් කෝටි ගණනක් වැය කර උත්සව සංවිධාන කරනු ලැබේ. රජය මඟින් රේගුවට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපමාන සපයා දෙමින් අපනයන දිරිගැන්වීම සඳහා කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ. මේ අනුව අපනයනකරුවන්ට, තීරුබදු සහ අනෙකුත් බදු ගෙවා ආනයන කළ යුතු යන්ත්‍රසූත්‍ර, අමුද්‍රව්‍ය ආදිය බදු නොගෙවා ආනයනය කර තම ව්‍යාපාර සඳහා භාවිත කිරීමට ශ්‍රී ලංකා රේගුව මඟින් අවශ්‍ය පහසුකම් ඔවුන් වෙත දී ඇත.

මෙවැනි වරප්‍රසාද සහ සහන උපයෝගි කරගනිමින් සිය ව්‍යාපාර කටයුතු කරනු ලබන බොහෝ අපනයනකරුවන් පෙරළා සිය දේශය වෙත යුතුකම් ඉටු කරනු ලබන බවක් නොපෙනේ. මෙරට සම්පත් විදේශ වෙත යවා ඒ වෙනුවෙන් ලැබිය යුතු විනිමය මෙරටට නොගෙනීම බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. “වලිගය විසින් බල්ලා නටවනවා” යන පැරණි කියමන සිහිගන්වමින් අද වන විට වෙනත් ව්‍යාපාරිකයන් මෙන්ම, අපනයනකරුවන් ද රජය නටවන ආකාරයක් දැකගැනීමට හැකිය.

එසේ වුව ද එයට මුහුණ දීමට රජය තවම විධිමත් සූදානමක් නැති බව පෙනේ. එහි ප්‍රමුඛ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මෙතෙක් එය ඉටු කළ බවක් නොපෙනේ.

විනිමය නීති දැඩි කිරීම

අපනයනකරුවන් විසින් මෙරටට රැගෙන ආ යුතු මුදල් තම නමින් විදේශ රටවල ගිණුම් තුළ තැන්පත් කර ඇති බව වාර්තා වේ. සමහර අවස්ථාවලදී තමන්ට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් එම මුදලින් කොටසක් වැය කරන බව ද පැවසුව ද එය අනුමත ක්‍රමවේදය නොවේ. මෙම මුදල් විවිධ ජාවාරම් සඳහා යොදා ගැනීමට ඇති අවස්ථා ද බැහැර කළ නොහැකිය.

හිටපු මුදල් ඇමැතිවරයකු විසින් තමනට එල්ල වී තිබූ චෝදනා සහ නඩුවලින් මිදීම සඳහා විනිමය ආඥාපනත පවා සංශෝධනය කර තිබූ බව වාර්තා විය. එවැනි අවස්ථාවක විදේශ විනිමය වංචා කරනු ලබන අය වෙත නීති මඟින් කටයුතු කිරීමට මහ බැංකුවට තිබූ අවස්ථාව අහිමිව ඇති බව සඳහන් කළ යුතුයි. විනිමය දෙපාර්තමේන්තුව අහෝසි කිරීමත්, 2017 අංක 12 දරන විනිමය ආඥා පනත පැනවීමෙන් නඩුවලට පැටලී සිටි ඇමැතිවරයා ඇතුළු විනිමය වංචාකරුවන්ට අභයදානය ලැබීමත් නිසා රටට මහත් අභාග්‍යයක් සිදු විය.

කෙසේ වුව ද වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව මෙරටින් අපනයනය කරනු ලබන භාණ්ඩ වෙනුවෙන් ලැබිය යුතු නියමිත මුදල, දැඩි නීතිරීති පැනවීමෙන් ගෙන්වා ගත හැකි දැයි සැක සහිතය. එසේ වුව හොත් මෙරට වගාව, නිෂ්පාදනය ආදිය ඇනහිට විශාල රැකියා වියුක්තියකට එය හේතු විය හැකිය. එසේම පවත්නා කුමන රජයකින් වුව ද එවැනි දැඩි නීති රීති පනවා ගැටලුවට පිළියමක් සෙවීමට උත්සාහ ගත හොත් විරුද්ධ පක්ෂ එයට දැඩි විරෝධතාව දක්වනවා නොඅනුමානය. විධිමත් ලෙස නීතිරීති සකස් කර ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය බලතල සැපයීමෙන් විදේශවල රැඳෙන මුදල් ප්‍රමාණය පිළිබඳ සොයා බැලීය හැකිය.

නව අදහස දක්වන්න