ගෝලීය සංවර්ධනයේ නව යුගයක් | දිනමිණ

ගෝලීය සංවර්ධනයේ නව යුගයක්

ධම්මික සෙනෙවිරත්න

බ්‍රහස්පතින්දා සවස වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් සමුළුව ඇමතූ චීන ජනාධිපති ෂී ජිංග් පිංග් පෙන්වා දුන්නේ ගත වූ වර්ෂය මුළුල්ලේ ද කොවිඩ් 19 ව්‍යාප්තිය ලෝකයට අභියෝගයක් වූ අයුරුය. ලෝක ආර්ථිකය යළි ගොඩනැඟීම හා සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වූ තර්ජන ගැන ද එහිදී අවධානය යොමු කෙරිණි. සෑම සාමාජික රටකටම වාසි සැලසෙන අන්දමේ සහයෝගිතාවක් රටවල් අතර තිබීමේ වැදගත්කම, අර්බුද හමුවේ ඒකාබද්ධව මුහුණ දීම පිණිස සහයෝගිතාවයෙන් හා මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ක්‍රියා කිරීම වැනි කාරණා මෙහිදී චීන ජනාධිපතිවරයා සහෝදර සාමාජික රටවල අවධානයට යොමු කර සිටියේය.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව යන රටවල් එකතුවෙන් සැදුම්ලත් BRICS හවුලේ 14 වැනි සමුළුව මේ මස 23 – 24 දිනවල චීනයේදී පැවැත්විණි. මෙවර සමුළුව සඳහා එම රටවල් පහක නායකයන් මුහුණට මුහුණ හමු නොවූ අතර, එය පැවැත්වුණේ අතත්‍ය සමුළුවක් (Virtual Summit) වශයෙනි. චීන ජනාධිපති ෂී ජිංග් පිංග්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝ සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපොසා යන නායකයෝ එලෙස සහභාගි වී සිටියහ. මෙම 14 වැනි සමුළුවේ සත්කාරකත්වය දරනු ලැබුවේ චීනයයි.

ගෝලීය ආර්ථිකයෙන් ¼ක් නියෝජනය කරන්නේ BRICS රටවල්ය. ලෝක ජනගහනයෙන් බිලියන 3.21ක් වාසය කරන්නේ මෙම රටවලය. ප්‍රතිශතයක් ලෙස එය සමස්ත ලෝක ජනගහනයෙන් 41%ක් පමණ වේ. අමෙරිකාවේ නායකත්වයෙන් යුතු ලිබරල් ලෝක රටවල් වෙනුවට ලෝකවාසී සැමටම ආරක්ෂිතව ජීවත් විය හැකි ලෝක රටාවක් නිර්මාණය කිරීම BRICS හවුලේ අරමුණකි. මෙවර සමුළුව පැවැතියේ ද තවමත් කොවිඩ් 19 වසංගතයට එරෙහිව ලෝකය සටන් කරමින් සිටින අතරම වසංගතයේ බලපෑම් හේතුවෙන් ද අර්බුදයට ලක්වූ ලෝක ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා වෙහෙසීමට සිදුව ඇති පසුබිමකය.

චීන ජනාධිපති

14 වැනි සමුළු න්‍යාය පත්‍ර‍යේ අවධානයට ලක්වූ ක්ෂේත්‍ර අතර, ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීම, වෙළෙඳාම, සෞඛ්‍ය, සම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම, පරිසරය, විද්‍යාව හා තාක්ෂණය, නවෝත්පාදන, කෘෂිකර්මය, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය, පුහුණුව ආදිය වේ. එහිදී BRICS රටවල් අන්තර් සහයෝගිතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි.

බ්‍රහස්පතින්දා සවස වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් සමුළුව ඇමතූ චීන ජනාධිපති ෂී ජිංග් පිංග් පෙන්වා දුන්නේ ගත වූ වර්ෂය මුළුල්ලේ ද කොවිඩ් 19 ව්‍යාප්තිය ලෝකයට අභියෝගයක් වූ අයුරුය. ලෝක ආර්ථිකය යළි ගොඩනැඟීම හා සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වූ තර්ජන ගැන ද එහිදී අවධානය යොමු කෙරිණි. සෑම සාමාජික රටකටම වාසි සැලසෙන අන්දමේ සහයෝගිතාවක් රටවල් අතර තිබීමේ වැදගත්කම, අර්බුද හමුවේ ඒකාබද්ධව මුහුණ දීම පිණිස සහයෝගිතාවෙන් හා මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ක්‍රියා කිරීම වැනි කාරණා මෙහිදී චීන ජනාධිපතිවරයා සහෝදර සාමාජික රටවල අවධානයට යොමු කර සිටියේය. එකී සහයෝගිතාව දැනටමත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද මෙහිදී ජනාධිපති ෂී ජිංග් පිංග් පෙන්වා දුන්නේය. මනුෂ්‍යත්වය කෙරෙහි අවධානය යොමු කරමින් අනාගතය නිර්මාණය කිරීමේදී මෙම සමුළුව ළඟා වී සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකටය යන්න චීන ජනාධිපතිවරයාගේ අදහසය. එහිදී ලෝකයට අවශ්‍ය ශක්තිය දීම වෙනුවෙන් තම රටවල් සුභවාදීව හා වගකීම් සහගතව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දීම වැදගත්ය. මෙහීදී පළමුව කතා කළ යුතුව ඇත්තේ යුක්තිය හා සමානාත්මකතාව පිළිබඳ බව ද ඔහු සඳහන් කර තිබේ. අන්තර්ජාතික ප්‍රජාව සැබෑ බහුපාර්ශ්වියත්වයක් වෙනුවෙන් උනන්දු කළ යුතුව ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සමඟ එක්ව අන්තර්ජාතික පද්ධතිය ඉහළට එසැවිය යුතු බව ද ජනාධිපති ෂී ජිංග් පිංග් සඳහන් කරයි. මෙහිදී සීතල යුදමය මානසිකත්වය ප්‍රතික්ෂේප කළ යුතු යැයි ද ඒකපාර්ශ්වීය සම්බාධකවලට සහ සම්බාධක අපයෝජනයට එරෙහි විය යුතු යැයි ද අධිපතිවාදය පවත්වා ගැනීම වෙනුවෙන් නිර්මාණය කරන්නා වූ කුඩා පරිමාණයේ කවයක් වුවද ප්‍රතික්ෂේප කළ යුතු බව ද ජනාධිපතිවරයා අදහස් කර තිබේ.

කොවිඩ් වසංගතය

වසංගතය පරාජය කිරීමේදී ජන ජීවිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඇති වගකීම පිළිබඳ ඔහු අදහස් මතු කර ඇත. එමෙන්ම වයිරසයට එරෙහි ආරක්ෂාව සලසා ගැනීම පිණිස ශක්තිමත් ඉදිරි පෙළ ආරක්ෂාවක් ගොඩනැඟීම ද, අන්තර්ජාතික වශයෙන් කොවිඩ් වසංගතයට එරෙහිව ක්‍රියාකිරීමේදී සහයෝගයෙන් කටයුතු කිරීම, ජන ජීවිත රැකගැනීම හා සෞඛ්‍ය රැකගැනීම වැනි වැදගත් කාරණා රැසක් ඔහු සෙසු නායකයන්ගේ අවධානයට යොමු කර තිබේ. සංවර්ධනය තිරසර හා ජනතා කේන්ද්‍රීය විය යුතු බව ද දිළිඳුකම පිටු දැකීම පිණිස හා අධ්‍යාපනයේ ද, සෞඛ්‍ය‍යේ ද උන්නතිය වෙනුවෙන් තව තවත් ආයෝජන කළ යුතු බව ද සඳහන් කළේය. තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 2030 ඉලක්ක කරමින් පිළියෙළ කර ඇති න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද චීන ජනාධිපතිවරයා මතු කර තිබිණි. මේ කාරණා සම්බන්ධයෙන් BRICS හවුල තුළ ගැඹුරු අවධානයක් තිබිය යුතු බව ජනාධිපතිවරයාගේ අදහසයි.

මේ වසර මුලදී දියත් වූ යුක්‍රේන යුද්ධයට පසුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙවැනි ප්‍රධාන පෙළේ සමුළුවක් ඇමතූ පළමු අවස්ථාව ද මෙයයි. කිසිදු BRICS රටක් යුක්‍රේනය සම්බන්ධයෙන් ජනාධිපති පුටින් ගත් ක්‍රියාමාර්ගය විවේචනය කළේ නැත. රුසියාව යුක්‍රේනය සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙතට එරෙහි G-7 රටවල් ක්‍රියාත්මක වෙමින් ඇති පසුබිමක හා රුසියාව එම එකතුවෙන් බැහැර කර ඇති පසුබිමක BRICS එකතුව මඟින් ලද පිළිගැනීම රුසියාවට වැදගත්ය. BRICS හවුලේ මෙම සමුළුව පැවැත්වුණේ G-7 සමුළුව පැවැත්වී දින කිහිපයකට පසුවය. යුක්‍රේන ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් ලබා ගැනීම මෙන්ම රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ගෝලීය ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම බටහිර රටවල් විසින් පරිස්සමින් විභාග කළ යුතුය යන්න ද BRICS රටවල අදහස වී තිබේ. අධිපතිවාදයට මෙන්ම බල දේශපාලනයට එරෙහිව ක්‍රියා කළ යුතුය යන්න චීන ජනාධිපතිවරයා සිය දේශනයේදී පෙන්වා දුන් කාරණයකි.

නව තාක්ෂණය

සංවර්ධනය වෙමින් පවත්නා රටවල ණය අර්බුදය, ආහාර සුරක්ෂිතතාව බිඳ වැටී තිබීම වැනි කාරණා ද මෙම සමුළුවේ අවධානයට ලක් වූ මාතෘකා අතර ඇත. අමෙරිකානු ඩොලරය වෙළෙඳාමේදී යොදා ගැනීම වෙනුවට තම රටවල මුදල් ඒකකම භාවිත කිරීම වැනි කාරණා ද සාකච්ඡාවට භාජනය වූ බව වාර්තා විය.

සෑම ගෝලීය හා කලාපීය කාරණයක් සම්බන්ධයෙන්ම BRICS හවුලේ රටවල් වශයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද සිය දේශනයේදී අවධාරණය කළේය. ගෝලීය සංවර්ධනයේ නව යුගයක් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව ද මෙහිදී ජනාධිපති පුටින් පෙන්වා දී තිබිණි. ත්‍රස්තවාදය හා සංවිධානාත්මක අපරාධ, අපරාධ සඳහා නව තාක්ෂණය යොදාගැනීම, දේශගුණික විපර්යාස, භයානක වසංගත ව්‍යාප්තිය ආදියට එරෙහිව ක්‍රියා කිරීමේදී එම ක්‍රියාමාර්ග ඒකාබද්ධව දියත් කිරීමේ වැදගත්කම ද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

BRICS රටවල නායකත්වය අන් කවරදාටත් වඩා ලෝකයට අද අවශ්‍ය වී ඇති බව ජනාධිපති පුටින්ගේ අදහසය. එහිදී එම සාමූහික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රුසියාවේ සහයෝගය හා දායකත්වය සැම විටම දෙන බව ද ඔහු සඳහන් කර තිබිණි. බටහිර ආත්මාර්ථකාමී ක්‍රියාමාර්ග හමුවේ BRICS රටවල් සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය යන්න ඔහු අවධාරණය කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුව අමතමින් සඳහන් කළේ පශ්චාත් කොවිඩ් තත්ත්වයට මුහුණ දෙමින් ලෝකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් වීමේදී අන්‍යෝන්‍ය සහයෝගිතාව අතිශයින්ම වැදගත් වන බවය. මෙම හවුලේ රටවල් අතර සහයෝගිතාවයේ ප්‍රතිලාභ තම රටවල ජනයාට ලැබෙන බව ඔහු පෙන්වා දුන් කාරණයකි. පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක කළ ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් ඇති වී ඇති ආයතනික බලපෑම් ඉහළ ගොස් තිබීම ද අගමැති මෝදි BRICS රටවල නායකයන්ගේ අවධානයට යොමු කළ කාරණයකි.

බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝ BRICS සමුළුව අමතමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇති විය යුතු ප්‍රතිසංස්කරණ ගැන ද සඳහන් කර තිබිණි. මෙහිදී විශේෂයෙන්ම ආරක්ෂක මණ්ඩලය තුළ නැඟී එන ආර්ථිකයන් සහිත රටවලට නියෝජනයන් තිබීමේ අවශ්‍යතාව වැනි කාරණා ඔහු මතු කර තිබේ. බ්‍රසීලය ද 2023 වසර තෙක් එහි සාමාජිකත්වය දරයි. තවදුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ ලෝක බැංකුව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතනවල ද ප්‍රතිසංස්කරණ සිදු විය යුතු බවයි.

මෙවර BRICS සමුළුව අධිපතිවාදයට එරෙහිව පැහැදිලි හඬක් මතු වූ අවස්ථාවක් බව පෙනෙන්නට තිබේ. රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක මිලිටරිමය සන්ධාන එනම් නේටෝ වැනි සංවිධාන ව්‍යාප්ත කිරීමට ක්‍රියා කිරීම ආදිය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජිංග් පිංග්ගේ ඍජුවම අදහස් දැක්වීමෙන් ද ඒ බව පැහැදිලි වේ. වත්මන් අධිපතිවාදී ලෝක රටාවට එරෙහිව ප්‍රතිසංස්කරණාත්මක සාමුහික ක්‍රියාමාර්ගයන් BRICS හවුලේදී මතු විණි නම් එහි බලපෑම අන්තර්ජාතික දේශපාලනය හා අන්තර්ජාතික සබඳතා තුළ ඉදිරියේදී පැහැදිලි වනු ඇත.

නව අදහස දක්වන්න