ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය අද - හෙට සුගතදාස පිටියේදී දේශපාලනඥයන්ට ආරාධනා නෑ | දිනමිණ

ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය අද - හෙට සුගතදාස පිටියේදී දේශපාලනඥයන්ට ආරාධනා නෑ

ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව සංවිධාන කරන ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය අද (28) සහ හෙට (29) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සමාරම්භක උලෙළට හා සමාප්ති උලෙළට කිසිදු දේශපාලනඥයකු සහභාගී නොකිරීමට ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇති අතර, ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට අනුග්‍රහය දක්වන ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙවර ශූරතාවලියේ උත්සව අවස්ථා සංවිධානය වේ.

මෙතෙක් පැවැති සෑම ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියකදීම ප්‍රධාන ආරාධිතයන් ලෙස විවිධ තරාතිරමේ දේශපාලනඥයන් සහභාගී කර ගැනීමට ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව කටයුතු කළ ද පවතින තත්ත්වය හමුවේ එසේ නොකිරීමට තීරණය කර ඇත.

ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා තරග උදෙසා දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියෙන් හඳුනාගන්නා අතර, ඔවුන් ජාතික සංචිතවලට ඇතුළත් කරගැනීම මෙමගින් සිදු වේ. මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා හා නව තරග වාර්තා කිහිපයක් බිහි වනු ඇතැයි ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිතන් කර්නල් දීපාල් හේරත් මහතා පැවැසීය.

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 උලෙළේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී නොවන අතර, ඔහු ආබාධයකට ලක්ව සිටීම එයට හේතුවේ. එහෙත් ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 උලෙළට සහභාගී වූ අනෙක් සියලු ක්‍රීඩකයන් මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීත්වය ස්ථීර කොට ඇති හෙයින් තරග ඉසව් උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

බහරේනයේ නිමාව දුටු ආසියා යොවුන් පැරා ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 4ක් සමග මුළු පදක්කම් 12ක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවන් අතුරින් කිහිප දෙනෙක්ද මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වෙති.

ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියට මාස් හෝලිඩිං හා ඩයලොග් ආයතන අනුග්‍රහය ලබාදෙන අතර, සමාප්ති උලෙළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී හෙට පස්වරුවේ පැවැත්වේ.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න