ගාලු තණතිල්ල දඟ පන්දුවට පාරාදීසයක් | දිනමිණ

ගාලු තණතිල්ල දඟ පන්දුවට පාරාදීසයක්

සංචාරක ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර 2016 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේ වීරයා වූ රංගන හේරත්ගේ කඩුලු 28 ට සාපේක්ෂව එම ටෙස්ට් තරගාවලියේ කඩුලු 16ක් දවාගත් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලියොන්, මෙවර ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේ සිට ගාලු තණතිල්ල දඟ පන්දුවට උචිත ලෙස හැසිරෙනු ඇතැයි බලාපොරොත්තු පළ කරයි.

ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (29) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, පළමු දිනයේ සිට දඟ පන්දුව රජ කරනු ඇතැයි හෙතෙම බලාපොරොත්තු පළ කරයි.

කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකුම ආබාධවලට ගොදුරුව සිටිද්දී ඔස්ට්‍රේලියාව මේ ටෙස්ට් තරගාවලියට අවතීරණ වන අතර, ශ්‍රී ලංකාවේ දඟ පන්දු බළ ඈණියෙන් ප්‍රබල පීඩනයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව නිමා වූ එක්දින අන්තර්ජාතික තරගාවලිය 3-2 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර, සත්කාරක කණ්ඩායම ටෙස්ට් තරගාවලියේ වාසිය ලබා ගැනීම උදෙසා දඟ පන්දු යවන්නන්ගෙන් පිරුණු පන්දු ප්‍රහාරයක් කෙරෙහි විශ්වාසය තබා ඇත. ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත දඟ පන්දු බළඇණියට ජෙෆ්රි වැන්ඩර්සේ එක්වීමත් සමග ප්‍රබලත්වයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව 2016 වසරේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වූ අවසන් ටෙස්ට් තරගාවලියේ තරග තුනම ජයගත් අතර, ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 229ක දැවැන්ත ජයක් ලැබීය. එම තරගයේදී දඟ පන්දු යැවූ දිල්රුවන් පෙරේරා කඩුලු 10ක්, රංගන හේරත් කඩුලු 6ක්, ලක්ෂාන් සඳකැන් කඩුලු 2ක් හා නේදන් ලියොන් කඩුලු 4ක් බිඳ හෙළා දඟ පන්දුවෙන් වැඩි වාසි අත් කර ගත්හ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල පසුගිය මාසයේ බංග්ලාදේශයේදී 1-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් හා ඔස්ට්‍රේලියාව පසුගිය මාසයේදී පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේදී 1-0කින් ජය ලබා ඉහළ මානසිකත්වයක සිටී.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න