චමරි ශ්‍රී ලංකාව දිනවයි | දිනමිණ

චමරි ශ්‍රී ලංකාව දිනවයි

පන්දු 48කදි හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 80ක් රැස් කළ නායිකා චමරි අතපත්තුගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් සංචාරක ඉන්දීය කාන්තා පිලට එරෙහිව ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගයේ ඕවර 3ක් ඉතිරිව තිබියදීම කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පළමු තරග 2ම ජයගෙන තරගාවලියේ ජයග්‍රහණයට හිමිකම් කී ඉන්දීය පිල පූර්ණ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් පළමුව පන්දුවට පහර දුන් අතර, ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රැස් කළේය. ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 17කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගනිමින් 2-1කින් තරගාවලිය නිමා කරගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 2ම ලකුණු 37ක් ඇතුළත බිඳ වැටුණද, නිලක්ෂි ද සිල්වා සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට චමරි සමත්වූවාය. ඇයට අනගි සහයක් දුන් නිලක්ෂි ලකුණු 30කට දුවද්දී දැවී ගිය අතර, ඇය පන්දු 28කට මුහුණ දී හතරේ පහර 4ක් එල්ල කිරීමට සමත් වූවාය.

තරගයේ වීරයා සම්මානය චමරිට හිමි වූ අතර, ඉන්දීය පිලේ නායිකා හර්මන්ප්‍රීට් කොවුර් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබුවාය.

ඉන්දීය කාන්තා පිල - 138/5 (ඕවර 20) හර්මන්ප්‍රීට් කොවුර් නොදැවී 39, ජෙමීමා රොඩ්‍රිගස් 33, ස්ම්‍රිති මන්දානා 22, සබානෙනී මේගනා 22 ( ඕෂධී රණසිංහ 13/1, අමා කාංචනා 22/1, සුගන්ධිකා කුමාරි 28/1, ඉනෝකා රණවීර 31/1)

ශ්‍රී ලංකා කාන්තා පිල - 141/3 (ඕවර 17) චමරි අතපත්තු නොදැවී 80, නිලක්ෂි ද සිල්වා 30 (රේණුකා සිං 27/1, රාධා යාදෙව් 41/1)

නව අදහස දක්වන්න