දුෂ්කරතා මැද වවුනියාවෙන් බොක්සිං පදක්කම් | දිනමිණ

දුෂ්කරතා මැද වවුනියාවෙන් බොක්සිං පදක්කම්

ආධුනික බොක්සිං වළල්ලේ පදක්කම් දිනූ මේනුකා, ඩිලක්ෂනා, තනූෂා සහ කෝකුලා පුහුණුකරු රූබරාජ් සමග.

ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ මෙහෙයවීමෙන් පසුගියදා පැවැති ජාතික ආධුනික බොක්සිං තරගාවලියේ කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට වවුනියා දිස්ත්‍රික් බොක්සිං සංගමයේ ක්‍රීඩිකාවෝ සමත් වූහ. එය වවුනියාවේ ක්‍රීඩිකාවන් ජාතික මට්ටමේ බොක්සිං තරගාවලියක් නියෝජනය කරමින් මෙවැනි දස්කමක් පෑ පළමු අවස්ථාව බවට පත් විය. කිසිදු පහසුකමකින් තොර දුෂ්කර පළාතකින් පැමිණ ජාතික තලයේ තරගාවලියක පදක්කම් දිනා ගැනීමට සමත් වූ එම ක්‍රීඩිකාවන් ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ අත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වන බව වවුනියා දිස්ත්‍රික් බොක්සිං සංගමයේ පුහුණුකරු නික්සන් රූබරාජ් ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය.

මෙවර ආධුනික බොක්සිං තරගාවලියේ කාන්තා අංශයේ කිලෝග්‍රෑම් 60 බර පන්තියේ තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒජීඒඩබ්. රත්නායක පරදවා රන් පදක්කම දිනා ගැනීමට එම සංගමයේ එම්. මේනුකා සමත් වූ අතර, කිලෝග්‍රෑම් 63 බරපන්තියේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ යුද හමුදාවේ ක්‍රීඩිකා එච්එච්එම්. සංකල්පනී පරාජය කළ එස්. තනූෂා විසිනි. මීට අමතරව කිලෝග්‍රෑම් 66 බර පන්තියේ රිදි පදක්කම දිනා ගැනීමට එම සංගමයේ කේ.කෝකිල වදනි සමත් වූ අතර, කිලෝග්‍රෑම් 48 බරපන්තියේ ලෝකඩ පදක්කමකට හිමිකම් කීමට ඩිලක්ෂනා සමත් වූවාය.

අවුරුදු 21-24ත් අතර පසුවන මේ ක්‍රීඩිකාවන්ට අමතරව ක්‍රීඩාවට උනන්දුවක් ඇති බොහෝ තරුණියන් වවුනියාව ප්‍රදේශයේ සිටින බවත්, අඩු පහසුකම් සහ මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට අවස්ථාව අවම වී ඇතැයි පුහුණුකරු රූබරාජ් සඳහන් කළේය.

‘මේ ළමයි පුහුණු වෙන්න වවුනියා නගරයට එන්නේ කිලෝමීටර් 25ක් විතර දුර ඉඳලා. අපිට පුහුණුවෙන්න බොක්සිං වළල්ලක් නෑ. දැනට වවුනියා නගර සභාවට අයිති එළිමහන් ක්‍රීඩා පිටියක තමයි පුහුණු වෙන්නේ. මේ හැමෝම කුලි රස්සා කරන මාපියන්ගේ දරුවෝ. ඒ නිසා එයාලට තරගවලට අවශ්‍ය අත්වැසුම්, හිස් වැසුම් වගේ බොක්සිං ක්‍රීඩා උපකරණ මිල දී ගන්න අමාරුයි. හුඟක් වෙලාවට මම තමයි ඒ වියදම් දරන්නේ. අපිට විදෙස්ගතව සිටින අයගෙනුත් දායකත්වයක් දැනට ලැබෙනවා.‘ ඔහු පැවසීය.

‘අපි තමයි වවුනියාවේ බොක්සිං ක්‍රීඩාව පටන් ගත්තේ. මම 2015 ඉඳලා 2017 දක්වා ක්‍රීඩාවේ නිරත වුණා. ඒත් පස්සේ උරහිසේ ආබාධයක් නිසා ක්‍රීඩාවෙන් ඉවත් වුණා. මගේ යටතේ දැනට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40ක් විතර පුහුණුව ලබනවා. මේ හැමෝගෙම හීනය තමයි කවදහරි දවසක ශ්‍රී ලංකාව වෙනුවෙන් විදෙස් තරගාවලියකට ක්‍රීඩා කිරීම.‘ 28 හැවිරිදි වියෙහි පසු වන රූබරාජ් කියා සිටියේය.

ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත මේ වන විට වවුනියා නගර සභාව මගින් බොක්සිං ක්‍රීඩාව පුහුණුවීමට ස්ථානයක් ලබා දී ඇති අතර, එහි ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද ඔහු කීවේය. ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති ඩයන් ගෝමස් මහතා ද වවුනියා දිස්ත්‍රික් බොක්සිං සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට දායකත්වය දෙන බව රූබරාජ් වැඩි දුරටත් කියා සිටියේය.

ෆවුස් මොහොමඩ්

 

නව අදහස දක්වන්න