රටට හිතකර යෝජනාවලට සහාය දෙන්න අපි සූදානම් | දිනමිණ

රටට හිතකර යෝජනාවලට සහාය දෙන්න අපි සූදානම්

ආචාර්ය විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය

රටේ දේශපාලනික හා ආර්ථික අර්බුද උත්සන්නය. ඊට දේශපාලන වශයෙන් ගන්නා යෝජනා, තීන්දු හා තීරණ මොනවාද, එසේම ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධනය වෙනුවෙන් විවිධ පක්ෂ, සංවිධානවල අදහස් යනාදිය ඇතුළු කරුණු කාරණා පිළිබඳ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

l 21වැනි ව්‍යවස්ථා සංශෝධනයට මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඇති ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගිය මාසයේ 21 වැනිදා අමාත්‍ය මණ්ඩල කාර්යාලයට භාර දුන්නා. ඒ පිළිබඳ අපි සාකච්ඡා කළා. ඒ අතරතුර ඇමැති මණ්ඩලය එය අනුමත කිරීමට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ මන්ත්‍රීවරු සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවත්වලා ඔවුන්ගේ එකඟත්වය ගන්න කටයුතු කළා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන හා නොයෙකුත් සංවිධාන සමඟ සාකච්ඡා කරලා, ඒ අදහස්වලටත් ගරු කරලා අවශ්‍ය පරිදි සංශෝධිත කෙටුම්පත මේ වෙද්දී අමාත්‍ය මණ්ඩලයට යොමු කරලා අනුමැතිය ගෙන තිබෙනවා. ඊට පස්සේ නීතිපතිවරයාගේ සහතිකයත්, නිති කෙටුම්පත් මණ්ඩලයේ සහතිකයත් ලබා ගැනීමෙන් අනතුරුව එය ගැසට් පත්‍රයේ පළ කරනවා. කැමැති කෙනෙකුට අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ හැකියි. ඊට පස්සේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

l ඇතැම් සංශෝධනයෙන් 22 + තත්ත්වයක් ඔවුන්ට අවශ්‍ය බව කියනවා. මේ සංශෝධනය තුළ එවැනි තත්ත්වයක් තියෙනවාද?

19 වැනි සංශෝධනය ඉවත් කරන්නයි 20 වැනි සංශෝධනය ගෙනත් සම්මත කර ගත්තේ. නැවතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ගැළපෙන ආකාරයට ඊටත් වඩා, ඉන් ඔබ්බට ගිය ප්‍රතිපාදන, කරුණු ඇතුළත් කරලා තමයි අපි 21 වැනි සංශෝධනය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ පිළිබඳව යම් අන්තර්කාලීන් විධිවිධාන කිහිපයක් තියෙනවා. වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය එක්ක ඒ කරුණු ඉදිරිපත් කරලා තියෙන නිසා ඒ දේවල් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි ජනතාවට කරුණු ඉදිරිපත් කරනවා.

l දැනට පවතින දේශපාලනික හා ආර්ථික අර්බුදයට මේ හරහා විසදුම් ලැබෙනවාද?

අනිවාර්යයෙන්ම. පවතින දේශපාලන ආර්ථික අර්බුදයට මේ සංශෝධනයෙන් විසඳුම් ලැබෙන්නේ නැත්නම් මේ සංශෝධනය සම්මත කර ගන්න මේ තරම් උත්සාහයක් දරන්නේ නැහැ. අද වෙනකොට අපිට ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්න ඉතා අසීරු තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වගේම ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය ආදි බොහෝ රටවල් සමඟ ගනුදෙනු කිරීමේ දී අපිට තිබෙන ගැටලුවක් වෙලා තියෙන්නේ අපේ රටේ නිතියේ ආධිපත්‍ය නැති බවට සහ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා කියලා කරන චෝදනාව. ඒ චෝදනා තියෙනකල් ඒ උදවිය අපිත් එක්ක ගනුදෙනු කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. මහ බැංකු අධිපතිවරයා පවා රටේ ජනතාවට ප්‍රකාශ කළේ දේශපාලන අස්ථාවරත්වයක් තියෙනකල් ආර්ථිකය ගොඩ නඟන්න හැකියාවක් නැති බවයි. එහෙමනම්, ආර්ථික අර්බුදය විසඳන්න නම්, ඊට ප්‍රථම දේශපාලන අර්බුදය විසඳලා දේශපාලන ස්ථාවරත්වයක් රටේ ගොඩනඟන්න ඕනේ. දේශපාලන ස්ථාවරත්වය ගොඩනඟන තෙක් රට කුමන අතකින්වත් ඉදිරියට යා නොහැකි තත්ත්වයකයි පවතින්නේ.

l පාර්ලිමේන්තුවේ තියෙන දේශපාලන පක්ෂ විවිධ මත දරනවා. මේ සංශෝධනය සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයත් අවශ්‍ය වෙනවා නේද?

මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි අමාත්‍ය මණ්ඩලයේ මෙන්ම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත් දිගින් දිගටම සාකච්ඡා කළා. එතැනදි මන්ත්‍රීවරු දෙතුන් දෙනකුගේ මත ප්‍රකාශ කිරීමක් පමණයි සිදු වුණේ. කිසිවෙක් සංශෝධනයට විරුද්ධත්වයක් ප්‍රකාශ කරලා නැහැ.

l පාර්ලිමේන්තුවේදි මේ සංශෝධනය සම්මත කර ගන්න පුළුවන් වෙයි කියලා ඔබට විශ්වාසයක් තියෙනවා ද?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න වෙලාවෙත් ආණ්ඩු පක්ෂය විදියට අපට හිටියේ මන්ත්‍රීවරු 47 ක් පමණයි. අපි ජනතා හිතවාදී විදියට කෙටුම්පත ඉදිරිපත් කළාම ජනතා නියෝජිතයින්ට ඒ වගේ සංශෝධන ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් සාමාන්‍යයෙන් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 150 ක් පමණ තියෙනවා. මෙවැනි ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කාලයක් තිස්සේ ඉල්ලා සිටිය දේවල්. ඒ අනුව අපි විශ්වාස කරනවා කිසිවෙක් පනතට විරුද්ධ වෙන එකක් නැහැ කියලා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට මේකට සහාය දෙයි කියලත් විශ්වාස කරනවා.

l සංශෝධනයට එකතු කරන්න සිවිල් සංවිධාන නියෝජිතයිනුත් යෝජනා ලබා දුන්නා නේද?

පහුගිය මාසයක කාලයක් තිස්සේ මේ වගේ සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් සියයකට වැඩි ප්‍රමාණයක් එක්ක මම සාකච්ඡා කළා. ඒ සියලු දෙනාම පොදුවේ බලාපොරොත්තු වෙන මූලක කරුණු මේ සංශෝධනයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ සංශෝධනය අධිකරණයේ අභියෝගයකට ලක්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන ආකාරයට කෙටුම්පත් කිරීමට අපි වග බලා ගත්තා.

ජනමත විචාරණයකට යාමට සිදුවෙන තත්ත්වයක් තියෙන කිසිම කරුණක් ඇතුළත් නැහැ කියන එක ද ඔබ අදහස් කරන්නේ අපි ඉදිරිපත් කරපු සංශෝධනයේ එවැනි තත්ත්වයක් ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ. මීට පෙර සමගි ජන බලවේගය ඉදිරිපත් කරපු යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දීලා තියෙන්නේ ජනමත විචාරණයක් අවශ්‍ය බවටයි.

l හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු සමඟ මේ සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කළා ද?

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අපි මේ ගැන සාකච්ඡා කළා. ඒ අනුවයි ඉදිරි තීරණ ගන්නෙ.

l එහි සඳහන් කිසිම කරුණකට වෙනස් විම් කරන්න යෝජනා ඉදිරිපත් වුණේ නැද්ද?

කිහිප දෙනෙකුගේ මතයක් තිබුණො ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රටේ ආර්ථික ප්‍රශ්නය විසදෙන්නේ නැහැ කියලා. ඒ වගේ මත දෙක තුනක් ප්‍රකාශ කළා හැරෙන්නට දැඩි විරෝධතාවයක් ප්‍රකාශ කළේ නැහැ.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය නම් කියන්නේ කෙලින්ම මැතිවරණයකට ගිහින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමෙන් විතරයි මේ ආර්ථික අර්බුදය විසදෙන්නේ කියලා.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. නමුත් සාමාන්‍ය දැනීම තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා මේ රටේ මැතිවරණ පැවැත්වීමට තරම් සමාජ ආර්ථීක වටපිටාවක් රටේ නැති බව. එහෙම තත්ත්වයක් තිබුණා නම්, අපි ප්‍රමුඛතාවය දෙන්නෙත් මහ මැතිවරණයකටයි.

l ප්‍රතිසංස්කරණවලට සමගි ජන බලවේගයේ සහාය ලබා දෙන බව කියලා තියෙනවාද?

නොයෙකුත් පක්ෂ සාමාජිකයෝ විවිධ මත ප්‍රකාශ කරනවා. ඒත්, අපිට විශ්වාසයක් තියෙනවා මේ සංශෝධනයෙන් ඉදිරිපත් කරන කිසිම ප්‍රතිපාදනයකට විරුද්ධ වීමේ හේතුවක් නැහැ කියලා.

l මානව හිමිකම් සැසිවාරය මේ දිනවල පැවැත්වෙනවා. ජී. එල් පීරිස් මහතා අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධතාවයකුත් උතුරේ පැවැත්වුණා. මේ කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා සම්මත කර ගන්න අවස්ථාවේදීම ජාත්‍යන්තරය එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න ගණනාවක් අපි විසදා ගත්තා.

2011 දී සිට අහිමි වුණ ජී. එස්. පී සහනය නැවත ලබා ගත්තා. මාළු අපනයනය අහෝසි කරලා තිබුණේ. ඒකත් අපි නැවත ලබා ගත්තා. අපේ රටේ තිබුණ වර්ගවාදී ගැටුම නිසා පිඩාවට පත්වූ ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමේ වගකිමත් අපි භාර ගත්තා. එදා අපි සාකච්ඡා මාර්ගයෙන් ඒ ප්‍රශ්න විසදා ගත්ත නිසා එවකට හිටපු හමුදා නායකයින්ට පාලකයින්ට විරුද්ධව යුධ අපරාධ නඩු පැවරීමේ වාතාවරණය පවා සමනය කර ගන්න අපිට හැකි වුණා. ඒ අනුව එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා යෝජනා සම්මත කර ගත්ත පනත් දෙකකින් ආයතන දෙකක් හදලා තියෙනවා. තව පනතක් අපි සකස් කරලා තියෙනවා.

ජාතික සංහිදියාව පිළිබඳ කාර්යාලයක් තියෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් හදලා එහි පරීක්ෂණ කටයුතු මේ වෙනකොට කෙරෙමින් පවතිනවා. තරමක් මන්දගාමී තත්ත්වයෙන් කෙරුණු පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්න පියවර අරන් තියෙනවා. ඒ වගේම යුද්ධයෙන් අසාධාරණයට ලක්වූවන්ට වන්දි ගෙවීමේ කාර්යාලයේ කටයුතුත් මේ වෙනකොට සිදු කෙරීගෙන යනවා.

l සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණත් සර්වපාක්ෂික රජයකට කැමැත්ත ප්‍රකාශ කරගෙන එනවා. එහෙම වුණොත් ඔබතුමාගේ ස්ථාවරත්වය මොකක්ද?

රටේ ජනතාව පාරට බහින්න පෙර මම පාර්ලිමේන්තුවට යෝජනා කළා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් හදමු කියලා. මුල් අවස්ථාවේ ආණ්ඩුව ඊට එකඟ නොවුණත් ජනතාව පාරට බැහැලා අරගල කරන්න ගත්තාට පස්සේ ආණ්ඩුව ඊට එකඟ වුණා. ඒ අනුව අපි මාසයක කාලයක් විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ පන්ෂවලට ආණ්ඩුව භාර ගන්න කිව්වා. ජනාධිපතිතුමාත් විපක්ෂ නායකවරයාට කිව්වා ආණ්ඩුව භාර ගන්න කියලා.

මාසයක කාලයක් උත්සාහ දරලා 53 දෙනෙක්ගේ ස්වාධීන කණ්ඩායමක් විදියටත් අපි ඊට උත්සාහ කළා. බැරිම තැන ජනාධීපතිතුමාට කිව්වා සර්වපාක්ෂික ආණ්ඩුවකට විපක්ෂය සූදානම් නැති නිසා අගමැතිධූරය භාර ගන්න කැමැති කෙනකුට භාර දෙන්න කියලා. ඉදිරියේදී කුළල් කා ගන්න, මේ දේශපාලනය අවසන් කරන්න නම්, පාර්ලිමේන්තුවේ ගෞරවය වැදගත්කම හා විශ්වසනීය භාවය ගොඩනඟන්න ආණ්ඩුව හෝ විපක්ෂය ගෙනෙන ඕනෑම යෝජනාවකට සහාය දෙන්න අපි සූදානම්.

රන්මලී සෝමසිරි

නව අදහස දක්වන්න