සජබය බලයට පත් වී මාස හයක් ඇතුළත දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ අයට විසඳුම් දෙනවා | දිනමිණ

සජබය බලයට පත් වී මාස හයක් ඇතුළත දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ අයට විසඳුම් දෙනවා

සජිත් ගම්පහදී කියයි

දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 60,000කට ආසන්න පිරිසට සමඟි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත ප්‍රායෝගික විසඳුම් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සමඟි ජන බලවේග දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන්ට සහන දීමේ දිස්ත්‍රික් කමිටු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසීය.

අවස්ථා 2කදී පමණක් ආණ්ඩු බලය ලැබුණත් තමා විපක්ෂයේ සිටින කාලයේ 60,000කට ආසන්න පිරිසක් දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට සහ මැතිවරණ සමය ආසන්න වන විට දේශපාලන පළි ගැනීම්වලට ලක් වූවන්ට නිසි සාධාරණයක් ඉටු කරන බවට පැවසුවත් ඔවුන්ට මේ වන තෙක් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ තමා නිවාස ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස කටයුතු කරන අවදියේ විශේෂ වැඩපිළිවෙළක් යටතේ දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ 90%කගේ ඉල්ලීම්වලට සහ අභියාචනාවලට විසඳුම් දුන් බවයි. එසේම ඒ සඳහා කැපවූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය. දේශපාලන පලිගැනීමට ලක්වූවන්ගේ විශේෂ සම්මේලනය පැවැතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම සම්මේලනයට දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් විශාල පිරිසක් එක්ව සිටියහ.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න