ජනතා සුබසාධනයට අගමැති ප්‍රමුඛත්වය දෙනවා | දිනමිණ

ජනතා සුබසාධනයට අගමැති ප්‍රමුඛත්වය දෙනවා

අයි.එම්.එෆ්. සහ ආධාර දෙන කණ්ඩායම් සමඟ කළ සාකච්ඡා අනුව මහජනතාවගේ සුබසාධන වැඩපිළිවෙලට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛත්වය දී ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

කොළඹදී ඊයේ (26) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන හයක ණය මුදලෙන් ඩොලර් බිලියන පහක් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්ද ඉතිරි ඩොලර් බිලියනය රුපියල ශක්තිමත් කිරීමට යොදා ගැනීමට අගමැතිවරයා අදහස් කර ඇතැයි කී අබේවර්ධන මහතා අයි.එම්.එෆ්. ණය ලැබීමේ ලකුණු සුබවාදී බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයිද කීය.

ඒ සඳහා ඩොලර් බිලියන 55ක් වන ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ වැඩපිළිවෙළ කුමක්දැයි අප ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් පෙන්වා දිය යුතු බව කී අබේවර්ධන මහතා එම ප්‍රතිපත්ති සඳහා සියලු දෙනා එකඟ වුවහොත් ලබන නොවැම්බර් වන විට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු පළ කළේය. ඒ සඳහා වෙනත් මාර්ග ඇත්නම් පෙන්වා දෙන ලෙස අගමැතිවරයා ඉල්ලා සිටි බවත් කීය.

ලෝකය සමඟ කටයුතු කරන ක්‍රමයක් ඇතැයිද ලෝක බල අරගලයේදී අප පැත්තක් ගත යුතු නැති බවත් අප ගත යුත්තේ ශ්‍රී ලංකාව ඔසවා තැබිය හැකි මාර්ගය බවත් කී අබේවර්ධන මහතා ජාත්‍යන්තර දේශපාලනය අප රටට ගැලපෙන පරිදි රනිල් වික්‍රමසිංහ මහතා හසුරුවා ගනිමින් සිටින බවත් කතා කියන්න ලෙහෙසි වුවත් වැඩේ කරන එක වෙනස් බවත් පැවසීය. ඩොලරය පාලනය කර ගත් පසු ජනතාවගේ බොහෝමයක් ප්‍රශ්න විසඳෙන බවත් මෙය බලාගෙන සිටිය නොහැකි කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ මහතා අසමත් බව කීවත් ඒ මහතා සමත් බව කී අබේවර්ධන මහතා පටු දේශපාලනය නවතා රට ගොඩ ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සියලු දෙනා සහයෝගය දිය යුතු බවත් සඳහන් කළේය.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න