ඕනෑම අවස්ථාවක BA5 නව කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිය හැකියි | දිනමිණ

ඕනෑම අවස්ථාවක BA5 නව කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිය හැකියි

ආචාර්ය චන්දිම ජීවන්දර

නව කොවිඩ් ප්‍රභේදයක් වන BA5 නමැති වයිරස් ප්‍රභේදය ලෝකයේ රටවල් ගණනාවක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ‘දිනමිණ‘ට ඊයේ (27) ප්‍රකාශ කළේය.

නව කොවිඩ් වයිරස් ප්‍රභේදය ලෝකයේ රටවල් 63ක පමණ මේ වන විට ව්‍යාප්තව ඇතත්, එම වයිරස් ප්‍රභේදය ආසාදිත කිසිදු රෝගියෙක් මෙරටින් මෙතෙක් වාර්තා වී නැතැයි ද ඒ මහතා පැවසුවේය.

නව වයිරස් ප්‍රභේදය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට ඉතා ඉක්මණින් බෝ වීමේ හැකියාවක් පවතින බව ද හෙතෙම පැවසීය.

ඕනෑම අවස්ථාවක මෙරටට ද මෙම වයිරස් රෝගය පැමිණිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාව අවදානයෙන් සිටිය යුතු බවත් ඒ මහතා පැවසුවේය.

සෑම විටම පොදු ප්‍රවාහනයේ දී හෝ වෙනත් සෙනග ගැවසෙන ස්ථානයන්හිදී මුඛ ආවරණය පැළැඳ වයිරසයෙන් ආරක්ෂා වීමට ජනතාව සිතට ගත යුතු යැයි ද වෛද්‍ය ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න