SLT-MOBITEL හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි | දිනමිණ

SLT-MOBITEL හරිත වැඩසටහන් ක්‍රියාවට නංවයි

5 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන සාර්ථකව

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය රුක් රෝපණ වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර ක්‍රියාවට නැංවීය. SLT-MOBITEL විසින් මේ ජාතික මට්ටමේ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලද්දේ වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, වන වගාව ප්‍රවර්ධනය කිරීම, පරිසරයේ කාබන් උරා ගැනීමේ හැකියාව වැඩි කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ විවිධ ප්‍රදේශවල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යන අරමුණු මුල් කර ගනිමිනි. තිරසරත්වයේ සැබෑ අරුත පෙරදැරිව SLT-MOBITEL හරිත පෘථිවියක වැදගත්කම මෙන්ම අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම උදෙසා සොබාදහම සුවපත් කරමින් දේශගුණික විපර්යාස නැවැත්වීමේ සහ ආපසු හැරවීමේ අවශ්‍යතාව ද හොඳින් අවබෝධ කරගෙන සිටී.

‘පිරිසිදු වාතයෙන් හා පොහොරවලින් රට පෝෂණය කරමු’ යන තේමාව යටතේ ආරම්භ කර ඇති මේ රුක් රෝපණ වැඩසටහන, මිනිස් වර්ගයාගේ යහපැවැත්ම උදෙසා පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම නැවත නැවතත් අවධාරණය කරයි. පළිබෝධ පාලනය කිරීමට හැකියාවක් ඇති බවට පවතින විශ්වාසය, කාබනික පොහොර නිෂ්පාදනය යොදාගත හැකි වීම, වාතය පිරිසුදු කිරීමේ හැකියාව සහ ඖෂධීය ගුණාංග යනාදිය නිසා මේ වැඩසටහන සඳහා මී ශාකය තෝරාගෙන තිබේ. මේ වන විට SLT-MOBITEL මොනරාගල, උමංදාව, අනුරාධපුරය සහ මහනුවර ඇතුළු ප්‍රදේශවල මී ශාක 1,000ක් පමණ බෙදා දී හෝ සිටුවා ඇත.

සෑම වසරකදීම ජූනි මාසයේදී සමරනු ලබන ලෝක පරිසර දිනය, පරිසරය සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් කරන ප්‍රමුඛ දිරිගැන්වීම ලෙස සැලකේ. මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් තම කාර්ය මණ්ඩලය අතර පැළ බෙදාදීමට ද SLT-MOBITEL කටයුතු කළේ ය. එමෙන්ම මීරිගම සෙත් සෙවණ වැඩිහිටි නිවාසයේදී මී පැළ සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නංවන ලදි. මේ රුක් රෝපණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම සඳහා SLT-MOBITEL මේ වන විට ප්‍රාදේශීය ප්‍රජාවන් සහ බිම් මට්ටමේ සංවිධාන සමඟ එක්ව කටයුතු කරමින් සිටී.

 

නව අදහස දක්වන්න