ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට පාකිස්තානය විකල්ප සොයයි | දිනමිණ

ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට පාකිස්තානය විකල්ප සොයයි

පාකිස්තානය එක් අර්බුදයක සිට තවත් අර්බුදයකට ගමන් කරමින් සිටී. ඉම්රාන් ඛාන් අගමැතිධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දිගුකාලීන දේශපාලන අර්බුදයක් පැවැති අතර අවසානයේ ඔහුට තනතුර හැර යෑම හැරුණු විට අන් විකල්පයක් නොවීය. එහෙත් මේ වන විට පාකිස්තානයේ උද්ගත වී ඇත්තේ ඊට වඩා බරපතළ අර්බුදයකි. ඉම්රාන් වෙනුවට අගමැතිධුරයට පත්වූ ශෙබාස් ෂරීෆ් මුහුණ පා සිටින්නේ රට ඇද වැටී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ අභියෝගයටය. රට ගොඩ ගැනීමට ලබන වසර 3ක කාලය සඳහා අමෙරිකා ඩොලර් බිලියන 6.4ක් සෙවීමට අගමැති ශෙබාස්ට සිදු වී තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂාවෙන් සිටින පාකිස්තාන රජයට ඔවුන් නියම කර ඇති ඇප කොන්දේසි සපුරාලීමට ද සිදු වී තිබේ.

මීට පෙර අවස්ථා 22කදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් සිටින පාකිස්තානයට ඔවුන් නියම කරන කොන්දේසි සපුරාලීම ද එක්තරා ආකාරයක අභියෝගයක් බවට පත්වී තිබේ. පාකිස්තානය තව තවත් ආර්ථික අර්බුදයේ ප්‍රපාතයට ඇද වැටී ඇත්තේ එම කොන්දේසි සපුරාලීමට ඇති දුෂ්කරතා හේතුවෙනි. එහෙත් මේ වන විට පාකිස්තානයේ විදේශ සංචිතය සිඳී ගොස් ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වීම හැර අගමැති ශෙබාස්ට අන් විකල්පයක් නැත. මේ මස ආරම්භයේදී පාකිස්තානයට ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 36ක් අවශ්‍ය වී තිබේ.

සුප්‍රකට ‘බූමරෑන්ග්‘ දත්ත විශ්ලේෂණයට අනුව රටවල් 13කින් ආසියාවේ වඩාත්ම අයහපත් රට බවට පත් වී ඇත්තේ ද පාකිස්තානයයි. පාකිස්තාන රුපියල දැන් 8% කින් පමණ පහත වැටී ඇත. රටේ ආර්ථිකය පතුලටම ඇද වැටීම වළක්වා ගැනීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයන් සඳහා සාකච්ඡා නැවත ආරම්භ කර ඇත්තේ එබැවිනි.

එහෙත් ඒ සඳහා අතීතයේදී මෙන් නොව ඔවුන්ට දැඩි කොන්දේසිවලට යටත් වීමට සිදුවී තිබේ. අයවැය හිඟය පියවා ගැනීම, බැංකු හා බදු නීති වැඩි කිරීම, රටේ දරිද්‍රතාව අවම කිරීමට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කිරීම මෙන්ම විදුලි සහනාධාර ඉවත් කිරීම වැනි කොන්දේසි ඒ අතර වේ.

පාකිස්තානයට මෙවැනි ඉරණමකට ගොදුරු වීමට සිදුවූයේ සංවර්ධනය නොවන හා ආර්ථික වශයෙන් යෝග්‍ය නොවන දැවැන්ත ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් වියදම් කිරීම බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. විශේෂයෙන් චීන ආයෝජන ව්‍යාපෘති යටතේ දිගුකාලීන ණය ගැනීම් මත විශාල වශයෙන් රඳා පවතින ග්වාඩර් වරාය ව්‍යාපෘතිය, එහි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය වැනි නිෂ්ඵල යටිතල පහසුකම් ව්‍යාපෘති හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තා වේ.

චීන - පාකිස්තාන ආර්ථික කොරිඩෝව පාකිස්තානය මත අධික ණය බරක් පැටවී ඇතැයි ද, මේ වන විට පාකිස්තානය විසින් චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 64 දක්වා ඉහළ ගොස් ඇතැයි ද තවත් වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව එළැඹෙන 2022 -2023 මූල්‍ය වර්ෂය සඳහා අයවැය අනුමත කිරීමෙන් පසු පාකිස්තාන රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පාකිස්තාන මුදල් අමාත්‍යාංශයට අනුව අද එනම්, ජූනි 28 වැනිදා එම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නියමිතය. මීට පෙර පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපේක්ෂා කළ ඩොලර් බිලියන 6 වෙනුවට දැන් ඩොලර් බිලියන 8ක් බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා පාකිස්තාන රජය අපේක්ෂිත මුදල ඩොලර් බිලියන දසදහසක් පමණ වන බවත්, ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා 11% ක විකුණුම් බද්දක් අය කෙරෙනු ඇති බවත් වාර්තා වන අතර, එය ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට පාකිස්තාන රජයේ බලාපොරොත්තුවය. ඒ අනුව පැට්‍රොල් ලීටරයකට රුපියල් 50 ක් බැගින් අය කිරීමට ද තීරණය වී තිබේ.

ආයතනික ඉපැයීම් මත අතිරේක බද්දක් පැනවීම සම්බන්ධවත් පාකිස්තාන රජයේ අවධානය යොමු වී ඇතැයි ද, බදු ආදායම ඉහළ නැංවීම සඳහා වසරකට පාකිස්තාන රුපියල් මිලියන 300කට වඩා ලාභ ලබන සමාගම් සඳහා 10% ක අතිරේක බද්දක් අය කිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. ‘සුපිරි බද්ද‘ ලෙස නම් කර ඇති මේ අතිරේක බද්ද පිළිබඳ පාකිස්තාන රජය දැනටමත් නිවේදනය කර තිබේ. බැංකු, වානේ, ගුවන් සේවා, මෝටර් රථ, සිමෙන්ති, රසායනික පොහොර, තෙල් හා ගෑස්, රෙදිපිළි, බීම වර්ග, සීනි හා දුම්කොළ ඇතුළු අංශ 13ක සමාගම් ඊට ඇතුළත් වනු ඇතැයි ද කියැවේ.

සදෙව් රත්නායක

නව අදහස දක්වන්න