අතරමඟ | දිනමිණ

අතරමඟ

ගෑස් පෝලිම් පෙට්‍රල්, ඩීසල් පෝලිම්

භුමිතෙල් පෝලිම්... දිනෙන් දින පෝලිම් දිගු වෙමින් පවතී. ඒ අතර අපේ ජීවිත උඩු යටිකුරු වී ගොසිනි. ජීවිතය ඉතා දුෂ්කරය.

කෙසේ වුව මාසයකට වතාවක් අම්මා බලන්නට ගමට යන ගමන අතැර දැමිය නොහැකිය. වෙනදා මෙන් නොව මෙවර ඒ ගමන යා යුත්තේ පොදු බස් රථයකිනි. පෞද්ගලික වාහනයෙන් යනෙන ඒ ගමනට දෙමසකට පෙර වැය වූයේ රුපියල් තුන්දහසක් පමණ වුවද අද වන විට එය රුපියල් දස දහසද ඉක්මවා යනු ඇත.

ගෙදර දොරකඩ අඹ ගසත්, රඹුටන් ගසත් ඉදුණු පලින් පිරී ඇත. එහෙත් බසයෙන් යන ගමනේදී ඔසවා ගෙන යා හැක්කේ සීමිත බරක් පමණකි. වෙනදා හෝරා එකහමාරේ ගමනට දැන් හෝරා හතරහමාරක් හෝ පහක් ගත වනු නිසැකය. බස් රථ තුන හතරකට මාරුවෙමින් ද යා යුතුව ඇත.

ගමන් මල්ලට පුරවාගත් බර අඩු කරන්නට දොරකඩ ගසෙන් නෙළාගත් අඹවලින් ගෙඩි හත අටක් ඉවත් කළේ බලවත් අකැමැත්තෙනි. අනූ පස් වියැති අපේ අම්මාගේ ප්‍රියතම පලතුර අඹ ය.

මීටර් කිහිපයක් දුර ගෙවා ගොස් හිමිදිරියේ බසයට ගොඩවන විටත් එය මගීන්ගෙන් පිරී තිබුණේය.

"මහර හන්දියට..."

"රුපියල් හතළිහයි."

මෑතක් වන තුරුම රුපියල් දහසයට ගිය දුර ප්‍රමාණයට දෙගුණයකටත් වඩා ගෙවන්නට සිදු වීම සිත තුළ ජනිත කළේ මහත් ශෝකයකි. සබ්බ සකලමනාවෙහිම මිල තෙගුණයකින් වැඩිවී තිබුණද කාගේ වුව වැටුප ශත පහකින් හෝ වැඩි වූයේ නැත.

බස් කොන්දොස්තර අත තැබූ රුපියල් 50 නෝට්ටුවට අදාළ ඉතිරි රුපියල් දහය මට ලැබුණද පොදු ලංගම බසයකින් අනිවාර්යෙන්ම ලැබෙන බස් ටිකට් පත මා හට ලැබුණේ නැත. ඔහු තෙරපෙමින් සිටි සෙනඟ අතරින් බසයේ පිටුපසට ගොසිනි. ඔහුට ටිකට් පත අමතක වූවාද නැත හොත් හේ එය හිතාමතාම අමතක කළාදැයි මා දන්නේ නැත. කෙසේ හෝ තවත් මිනිත්තු දෙක තුනකින් මා බසයෙන් බැස ගියේ ටිකට්පත නොලැබ ම ය.

අනතුරුව මා නැඟුණේ කුරුණෑගල බසයකටය. සතියේ දවසක උදෑසනක් වූ නමුත් බසයේ ඒ වන විටත් සිටියේ මගීන් දහ දොළොස් දෙනකු පමණකි. රියැදුරු තැනගේ මෙන්ම කොන්දොස්තරවරයා ගේද මුහුණු මැළවී ගොසිනි. නුවර පාරේ බසයක වෙනදා දැනෙන වේගවත් බව ද නොවූයෙන් කොනෙහි අසුනක සුව පහසුව වාඩි වී උදෑසන මිහිරියාව විඳිමින් යන්නට කිසිත් බාධාවක් නොවීය.

යක්කල නගරය මැදින් බසය ඇදුණේ ඉතා සෙමෙනි. බරැති ගෝනියක් ඔසවාගෙන යමින් සිටි වියපත් මිනිසකු පාර පනිමින් සිටියේය. හිටි හැටියේ ඔහු මුහුණ පෑවේ මහත් අකරතැබ්බයකටය. ඔහුගේ උරය මත වූ ගෝණිය ඉරී එහි වූ ඉදුණු පුවක් අඩක් පමණම නිරන්තරවම වාහන දිවෙන මහා මාර්ගය පුරා විසිරී ගියේය. ගෝණිය මහ මග අයිනෙක තැබූ හේ වහ වහා ඉදුණු පුවක් අහුලන්න වූයේය. සමහර විට ඔහු නගරයට ආයේ පුවක් විකුණා ලැබෙන මුදලින් නිවෙසෙහි මුළුතැන්ගෙහි අඩුවැඩිය සපුරාලනු පිණිස වන්නට ඇත.

බොහෝ ගැහැනු සහ මිනිස්සු කඩිමුඩියේ ඔහු පසුකොට ගියහ. වහ වහා ඇදී යන ඔවුන් කවුරුන් හෝ අසරණ වූ මිනිසාට උපකාර කරන්නට ඉදිරිපත් වූයේ නැත. මගේ බසය බොහෝ දුර ඇදී යන විටත් ඔහු තනිව පුවක් අහුලනු මම දුටුවෙමි.

කරවනැල්ල බසයක් පැමිණෙන තුරු මා හට වරකාපොල බස් නැවතුම්පොළෙහි අඩ හෝරාවක් පමණම කල්මරන්නට සිදු විය.

අවුරුදු දහ අටක, විස්සක පමණ අහිංසක පෙනුමැති තරුණ දරුවකු මා කරා ආවේ හඳුන්කූරු පැකට් කිහිපයක් අත දරාගෙනය.

"අපේ ගෙදර කෑමට හයදෙනෙක් ඉන්නවා මිස්. තාත්තා අසනීපෙන්. ඇඳේ ඉන්නේ. හඳුන්කූරු විකුණලා තමයි ඒ හැමෝටම කන්න දෙන්නෙ. දැන් මම ඒ ලෙවල් කරනවා. මම කොහොම හරි විශ්වවිද්‍යාලෙට යනවා."

ඔහුගේ වචන සිත උණු කරවනසුලු විය. මා රුපියල් සියයේ නෝට්ටුවක් ඔහු අත තැබුවේ අධිෂ්ඨානශීලී, ශක්තිමත් තරුණ පුත්‍රයකු වෙනුවෙන් සිත උපන් සෙනෙහසිනි.

"මේක වෙන කෙනකුට විකුණා ගන්න."

හඳුන්කූරු පැකට්ටුව මම ඔහුට ආපසු දුනිමි.

"අනේ මිස් , ඔය ළමය බොරු කරන්නෙ. කුඩු ගහන්ඩ පුරුදු වුණු ළමයෙක් ඔය. රුපියල් දෙතුන් සීයක් එකතුවුණාම කුඩු හොයාන යනව. කන්ඩ ඕනෑ නෑ."

නුදුරේ සිට සිද්ධිය දෙස බලා හුන් වැඩිහිටි කාන්තාවක් පැවසුවේ ඔහු වෙනුවෙන් පිබිදුණු මගේ සිත පෙළා දමමිනි.

මේ රට තුළ පවත්නා සංකීර්ණ, කර්කශ අර්බුදකාරී පරිසරය විසින් මිනිස් සිත් තිබුණාටත් වඩා අධර්මිෂ්ඨ කර ඇතිවා නොවේදැයි මට සිතුණි.

නව අදහස දක්වන්න