දැනගෙන කළ යුතු හරිතාගාර වගාව | දිනමිණ

දැනගෙන කළ යුතු හරිතාගාර වගාව

වර්තමාන සමාජයේ ජනප්‍රියම වගා ක්‍රමයක් බවට ආරක්ෂිත ගෘහ වගාව (හරිතාගාර) පත්ව තිබේ. කුඩා ඉඩමක හරිතාගාරයක් ඉදිකර සාර්ථක වගාවක් කිරිමෙන් ඉහළ ආදායමක් උපයා ගත හැකිය. එහෙත් විශාල මුදලක් වැය කරමින් ඇතැම් අය ප්‍රමිතියෙන් තොර හරිතාගාර ඉදිකරන අන්දම අසන්නට දකින්නට ලැබේ. මේ හරහා අභ්‍යන්තර පරිසර තත්ත්වයක් නිර්මාණය විම හරහා වගාවේ පල විවිධ හැඩ ගනී. එසේ ඵල විකෘති වීම නිසා අලෙවියේදී විවිධ ගැටලු මතුවීමෙන් වගාකරුවන් ඉන් මිදීමට විවිධ පිළියම් යොදන බව පෙනේ. මෙම විකෘති පල හට ගැනිම පිළිබදව දැනුවත් වීම ඉතාමත් වැදගත්ය.

විදේශයන්වල පවතින වගාවට අහිතකර පරිසරයෙන් මිදී සාර්ථක වගාවන් කිරීමට හරිතාගාර වගා ක්‍රමය සොයා ගත් බව පැවසිය හැකිය. හරිතාගාරයක් ඉදිකිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. එසේ වුවත් මෙසේ සකසන හරිතාගාරයක පහසුවෙන් වසර 07 ක පමණ කාලයක් සාර්ථකව වගා කිරීමට හැකියාවක් තිබේ. එසේම මෙම හරිතාගාර වගා අස්වනු සදහා ඉහළ ඉල්ලුමක් ද තිබේ. එනිසා නිෂ්පාදන වැඩි මිලකට පහසුවෙන් අලෙවි කිරීමට වගාකරුට හැකියාවක් තිබේ. එනිසා මෙම වගා ක්‍රමය දිනපතා ජනප්‍රියතාවයට පත් වේ.

මෙම හරිතාගාර තුළ වගා කිරීමට හැකි දෙමුහුන් බිජ වර්ග තිබේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇත්තේ බෙල්පෙපර්, ක්‍යුකම්බර්, තක්කාලි හා සලාද වර්ගත්ය. මෙසේ හරිතාගාරවල වගා කරන බොහෝ එළවළු වර්ග උසින් වැඩිය. එනිසා හරිතාගාරයක් ඉදිකරන විට මේ ගැනත් දැඩි අවධානයක් තිබිය යුතුය.

එනිසා හරිතාගාරයක් ඉදිකිරීමේදී සම්මත උස වන්නේ අඩි 13කි. ඉඩමේ ප්‍රමාණයට අනුව වගාකරුට දිග පළල තෝරා ගත හැකිය. හරිතාගාරයක් ඉදිකිරීමට වැය වන මුදල අවම කර ගැනීමට දේශීය ගොවියෝ විවිධ උසක් ගෙන හරිතාගාර ඉදිකරන අයුරු දක්නට ලැබේ. එසේ හරිතාගාරයේ අභ්‍යන්තර උස වෙනස් වන විට එහි අභ්‍යන්තර පරිසර තත්ත්වයන් ද වෙනස් වේ. එමඟින් වගා නිෂ්පාදන චක්‍රය අසමතුලිත වන බව පෙනේ. මින් සිදුවන්නේ වගා අස්වනු ගුණාත්මක බවින් යුක්ත විම හා විවිධ හැඩතල සහිත පල හට ගැනිමයි.

වගාකරුවන් මෙම පල විකෘතිතාවන් රෝගයන් හැටියට සිතා ඇතැම් කෘෂි රසායනික වෙළෙඳුන්ගෙන් වගා උපදෙස් පතන අතර ඔවුන් වැරැදි අන්දමට දෙන රසායනික බෙහෙත් යෙදීමට පියවර ගෙන මුදලුත් නැති කර වගාවත් හානි කර ගන්නා අන්දම අසන්නට ලැබේ. එනිසා මෙය රෝගකාරක විකෘතිතාවක් නොවන බව වගාකරුවන්ට අවධාරණයෙන් පැවසිය යුතුය. ඇතැම් පිරිස් හරිතාගාර ඉදිකරන්නේ “වා කවුළු“ නොමැතිවය. එනිසා අභ්‍යන්තරයේ සීමාව ඉක්මවන උණුසුම් බවක් ඇති වේ. මෙසේ ඇති වන අධික උණුසුම වගාවේ මල් හට ගැනීම, ගැනීම හා පලවල ගුණාත්මක බවට තදින් බලපායි. එසේ උණුසුම ඉහළ යෑම නිසා පල හට ගැනීමේ ප්‍රමාණය අඩු වීම, පල විකෘතිය හා පැතලි පල හට ගැනීමක් ද සිදු වේ. එසේම පලයේ තිබිය යුතු කුටීර ප්‍රමාණය වෙනස් වීම පලයේ නටු ආශ්‍රිත කුඩා විකෘතිතාවන් ද ප්‍රකටව දක්නට ලැබේ. මෙවැනි නිෂ්පාදනවලට වෙළෙඳපොළේ ඉල්ලුමක් නොමැත. මෙය වෙළෙඳ ගැටලුවක් බවට පත් වී තිබේ.

ආරක්ෂිත ගෘහ තුළ දිවා උණුසුම සෙල්සියස් අංශක 24ක් විය යුතු වන අතර එයට වඩා උණුසුම් වීම ස්ත්‍රී පුෂ්ප පරාගය හරි හැටි සිදු නොවේ. පරාග වඳ බවට පත් වේ. එමඟින් නිෂ්පාදනයට බාධා එල්ල වේ. එසේම උණුසුම වෙනස් වීම නිසා පෝෂණ අසමතුලිතා, අධික උණුසුම නිසා පත්‍ර පිළිස්සීම, මූල මණ්ඩල ආශ්‍රිත රෝග, පල අග කුණු විම වැනි අක්‍රමිකතා ද මතු වේ.

ජල වාෂ්ප තත්ත්වය 85% ප්‍රමාණයට වැඩි වුව හොත් පලදාවේ පල පිපිරීමට ලක් වේ. ඊට හේතුව නම් රාත්‍රී කාලයේ ගෘහ අභ්‍යන්තර වාතයේ උණුසුම අඩු වීම හා මූල මණ්ඩල කලාපයේ උණුසුම වැඩිවිමයි. මේ වෙනස නිසා පල පැලීමක් සිදු වේ. මෙය වළකා ගැනීමට දහවල් 12ට පෙර වගාවට නිසි ලෙස ජලය සැපයිය යුතුය. මෙසේ ජලය සැපයීමෙන් වගාවට වැලඳෙන අංගමාරය හා අළු පුස් වැනි රෝගවලින් වළකා ගැනීමට හැකිය. මෙය කායික විද්‍යාත්මක වශයෙන් සිදු වන අසාත්මික ක්‍රියාවලියක් බවට වටහා ගෙන ප්‍රමිතියෙන් යුත් හරිතාගාරයක් ඉදිකර ඉහළ වගා නිෂ්පාදනයක් ලබා ගෙන ඉහළ ආදායමක් උපයා ගෙන අතමිට සරු කර ගැනීමට වගාකරුට අවස්ථාවක් උදා වේ.

(විශේෂ ස්තුතිය - තෙලිජ්ජවිල කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ වැඩසටහන් සහකාර (ශාක ව්‍යාධවේදි) ශිරෝමලී ගුණසේකර මහත්මියට)

කේ.ආර්.ආර්.රාජමන්ත්‍රී

නව අදහස දක්වන්න