රටේ අනාගතය ගැන ගැඹුරින් සිතන්න | දිනමිණ

රටේ අනාගතය ගැන ගැඹුරින් සිතන්න

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ පක්ෂ සියල්ල එකතු වී පාර්ලිමේන්තු ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බව ද එබඳු ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ සියලු නීත්‍යනුකූල පියවර ගනු ලබන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. ඔහු මේ ප්‍රතිඥාව දෙන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු පැවති සාකච්ඡාවකදීය. රාජ්‍ය නායකත්වයට පත් වන අපේ සෑම නායකයකුම ප්‍රථම කොට දළදා මැඳුර වන්දනා මාන කර ගැනීම ද, එහිදී වැදගත් ප්‍රකාශයක් නිකුත් කිරීම ද අපේ දේශපාලන සම්ප්‍රදායකි. එම වැදගත් ප්‍රකාශ හැමවිටම පාහේ ක්‍රියාවට නැඟී ඇත. වත්මන් ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කොට සලකන ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය පාලනයෙහි නිරත වන නායකයකු හැටියට ද ප්‍රකටය.

ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට අවස්ථාව දුන් බව පිළිගත යුතු කාරණයකි. ඇතැම් පක්ෂ හා එම පක්ෂවල නායකයන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කළ ද එය යථාර්ථයක් කර ගැනීම සඳහා උනන්දුවකින් ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැත. රටේ ලියාපදිංචි දේශපාලන ව්‍යාපාර හතළිස් ගණනක් ඇති අතර ඒ සෑම දේශපාලන ව්‍යාපාරයක්ම සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සහභාගි කර ගත නොහැකිය. සිදු විය යුත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂවල සහයෝගය සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා ලබා ගැනීමය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් කෙරෙහි ඉල්ලීම පැතිකඩ කිහිපයකින්ම ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ යුතුය. එක පැත්තකින් බලවත් රාජ්‍යයන් හා ජගත් සංවිධාන එබඳු ආණ්ඩුවක් කෙරෙහි විශ්වාසයෙන් ක්‍රියා කරන බව පෙනී ගොස් තිබේ. තව පැත්තකින් ප්‍රධාන පක්ෂවල නායකයෝ ඒ ගැන ඉල්ලීමක් කරති. තවත් පැත්තකින් සිවිල් සංවිධාන හා මහජනයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරති. ඒ අනුව මේ ඉල්ලීම පොදු ඉල්ලීමක් බව පෙනී යයි. සර්ව පාක්ෂික ආණ්ඩුවකට අවශ්‍ය දේශපාලන පසුබිම ද මේ වන විට නිර්මාණය වී තිබේ. මෙය මඟහැර නොයා යුතු අවස්ථාවක් බව ද සඳහන් කළ යුතුය.

රටේ අනාගතය පිළිබඳ ගැඹුරින් සිතන පතන කවුරුන් වුව ඒ සඳහා දායකත්වය සැපයිය යුතුය.

ශ්‍රී ලංකාව අද මුහුණ දෙන අර්බුදකාරී අවස්ථාවට සමාන අවස්ථාවලට ලෝකයේ රාජ්‍යයන් ගණනාවක් මුහුණ දී ඇත. ඇතැම් රාජ්‍ය මේ මොහොතේ ද එම තත්ත්වයට මුහුණ දෙයි. අප්‍රිකානු රාජ්‍යයක් වන මැඩගස්කරය ද, මධ්‍යම අමෙරිකානු රාජ්‍යයක් වන ගෝතමාලාව ද අපට සමාන සිදුවීම් මාලාවකට මුහුණ දුන්හ. එම රාජ්‍යයන් දෙකම අර්බුදය ජය ගත් රාජ්‍යයන් ලෙස සැලකිය හැකිය. මේ රාජ්‍යයන් දෙකෙහිම නායකයන් මෙන්ම සිවිල් ජනතාව ද බුද්ධිමත්ව ක්‍රියා කළ බැවින් අර්බුදයෙන් මිදීමේ අවස්ථාව උදා කරගෙන ඇත. මෙබඳු අවස්ථාවලදී දේශපාලන පක්ෂවලට තම පෞද්ගලික න්‍යායපත්‍ර අත්හරින්නට සිදු වේ. ජනතාවට ද යම් කැප කිරීමක් කිරීමට සිදු වේ. එසේ නොමැතිව අර්බුද ජය ගැනීමේ හැකියාවක් නැත.

අපේ අර්බුදය තුළ ප්‍රධාන ධාරාවන් තුනක් ඇති බව සඳහන් කළ යුතුය. පළමුව දකින්නට ලැබෙන්නේ පුපුරා ගිය ආර්ථික අර්බුදයයි. දෙවනුව දක්නට ලැබෙන්නේ ඒ මත ව්‍යාප්ත වූ ගැඹුරු සමාජ නොසන්සුන්තාවයි. එම සාධක දෙක මත දේශපාලන අවුලක් ද නිර්මාණය වී ඇත. එය අර්බුදයේ තෙවන ධාරාව ලෙස සැලකුව ද එය ප්‍රධාන වෙයි. මන්ද යත් දේශපාලන ස්ථාවරත්වයකින් තොරව රටේ කිසිදු ගැටලුවක් විසඳා ගත නොහැකි බැවිනි. අයි.එම්.එෆ්. සාකච්ඡා මිත්‍ර රටවල ආර්ථික සහයෝගය හා ලෝක බැංකුවේ ණය, ආධාර වුව රැඳී ඇත්තේ රටේ දේශපාලන ස්ථාවරත්වය මතය. එය හැකි ඉක්මනින් ගොඩ නඟා ගත යුතු අතර ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාසයෙන් කටයුතු කරන තැනකට රට ඉතා ඉක්මනින් පත් විය යුතුය.

ජනාධිපතිවරයා පියවරෙන්, පියවරට රට ස්ථාවර කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පෙනෙයි. එය අසීරු ගමනක් සේ සැලකිය හැකිය. දකුණු අප්‍රිකාව ගොඩ නැඟූ නෙල්සන් මැන්ඩෙලා වරක් පෙන්වා දුන්නේ ‘සාමය’ යනු දීර්ඝ ගමනක් බවය. අර්බුද ජය ගැනීම ද එබඳු ගමනක් සේ සැලකිය හැකිය. අර්බුදයේ එක් අනිටු ප්‍රතිවිපාකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමය. නීතිය හා මහජන ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ආයතනවලට මහජනයා අභියෝග කරන තත්ත්වයක් මතුවීම අතිශය නරක සිද්ධියකි. අපේ රට ඒ දෙසට තල්ලු විය. නීතිය හා සාමය ආරක්ෂා කිරීමත් මහජනයාට සුරක්ෂිත ජීවිතයක් ඇති කිරීමත් රාජ්‍ය නායකයා ඉදිරියේ ඇති තවත් අභියෝගයකි. ඔහු ඊට නිවැරැදිව මුහුණ දිය යුතුය.

හදිසි මැතිවරණයක් ඉල්ලා සිටින පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ අදහස අත්හැර තිබෙන්නට පුළුවන. ඒ අනුව එම සංකල්පය හා වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරන්නටත් පුළුවන. සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඇති අවස්ථාව ගිලිහී ගොස් ඇතැයි මත පළ කරන්නටත් පුළුවන. ඒ වනාහි ඔවුන්ගේ න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරීමක් මිස අර්බුදය විසඳා ගත හැකි සැබෑ උපාය මාර්ග කෙරෙහි නැඹුරුවීමක් නොවේ. දේශපාලන පසුබිම දෙස බලන විට සියලු පක්ෂ විශේෂයෙන් ප්‍රධාන පක්ෂ පොදු වැඩපිළිවෙළක් සඳහා පෙළගැස්වීමේ පසුබිම නිර්මාණය වී ඇත. මීට අනුකූලතා දක්වමින් පොදු වැඩපිළිවෙළක් වෙත යෑමේ නියමුවා ලෙස ක්‍රියා කළ යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවය. ජනාධිපතිවරයා වෙතින් එම වගකීම ඉටු වන බව දැක ගත හැකිය.

කාලය මරන්නට අවස්ථාවක් නැත. උදා වන සෑම තත්ත්පරයක්ම වැදගත් කොට සලකා නිවැරදි තීන්දු තීරණ ගැනීමට වත්මන් පාලකයන් සමත් විය යුතුය. බලාපොරොත්තු තබා ගත හැක්කේ ඒ ගැන පමණි.

නව අදහස දක්වන්න