අලුත් ප්‍රභේදය පැතිරීම වැඩියි ; මහාචාර්ය චන්දිම ජීවන්දර අධ්‍යක්ෂ, අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | දිනමිණ

අලුත් ප්‍රභේදය පැතිරීම වැඩියි ; මහාචාර්ය චන්දිම ජීවන්දර අධ්‍යක්ෂ, අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පරිස්සම් වීම ඔබගේ යුතුකමක් වගේම වගකීමක්

එක් මාත්‍රාවක් ගෙන මාස 03කට පසුව අනෙක ගන්න

දැනට ඔමික්‍රෝන් BA5 රෝගීන් තහවුරු කර තිබෙන්නේ කොළඹ හා ගම්පහ

වැඩි රැකවරණයක් සිව්වැනි මාත්‍රාවෙන් ලැබෙනවා

අනවශ්‍ය ගමන්-බිමන්වලින් වළකින්න

ඔමික්‍රෝන් BA5 නමැති කොවිඩ් ප්‍රභේදය දැන් ලොව පුරා වේගයෙන් පැතිර යමින් ඇත. එය රැල්ලකි; වසංගත රැල්ලකි. ශ්‍රී ලංකාවේද මේ කොවිඩ් ප්‍රභේදය වේගයෙන් පැතිරෙන ප්‍රවණතාවක් දක්නට ලැබේ. පෙර අප මුහුණ දුන් බියකරු කොවිඩ් අද්දැකීම් යළිත් සිහියට නැඟේ. නිවෙස්වලට සිර වී, හුදෙකලා වී සිටි ආකාරය පමණක් නොව, රෝගය වැලඳීම හෝ තම සමීපතමයකු ලැබූ අද්දැකීම හෝ මොන යම් හෝ කොවිඩ් අද්දැකීමක් අප කාටත් තිබේ. යළිත් හිස ඔසවා මතුව ආ මේ ප්‍රභේදයේ පැතිරීම, එන්නත්කරණ හා ආරක්ෂා වීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර සමඟ කළ සාකච්ඡාවකි.

l අලුතින් හඳුනාගත් ඔමික්‍රෝන් BA5 ගැන පැවසුවොත්...

ඔමික්‍රෝන් BA5 කියන්නේ කොවිඩ් ඇති කරන්න පුළුවන් සාර්ස් කොවිඩ් 2 වයිරසයේ ප්‍රභේදයක්. මෙය ප්‍රභේදයක් කිව්වට ඔමික්‍රෝන් එකේ අනු ප්‍රභේදයක් විදියටයි සලකන්නේ. මේ වයිරසය ලෝකයට ආ දා ඉඳන් මෙහි ජාන විකෘතිතා පවතිනවා. ඊට පස්සේ මෙය නව මුහුණුවරකින් නිතරම පැමිණෙනවා. අප ප්‍රභේද කියන්නේ ඒකටයි. කොවිඩ් 19 චීනයේ වූහාන් නගරයෙන් පටන් ගත්තෙ. මෙයට වයිල්ඩ් ටයිප් (Wild type) කියලා අප කියනවා. මාතෘ ප්‍රභේදය විදියට අප සලකන්නෙ එයයි. ඊට පසුව ලොව විවිධාකාර ප්‍රභේද මතු වුණා. මූලික වශයෙන් කතාබහ වුණු ප්‍රභේද තුනක් හඳුනා ගත හැකියි. ඒ, ඇල්ෆා, ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේදය වශයෙන්. ඇල්ෆා ප්‍රභේදය පටන් ගත්තේ අමෙරිකාවෙන්. ඩෙල්ටා ප්‍රභේදය පටන් ගත්තේ ඉන්දියාවෙන්. ඔමික්‍රෝන් ප්‍රභේදය පටන් ගත්තේ දකුණු අප්‍රිකාවෙන්. කොව්ඩ් 19 එක්ක රැලි ඇති කරන්නේ මේ ප්‍රභේද තුනයි. මෙයින් වැඩිම හානිය වුණේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන්. මේ ප්‍රභේදය වරින් වර මතු වෙන්න පටන් ගත්තා. එහිදී පටන් ගත් ඔමික්‍රෝන් BA1. ඊට පස්සේ ඔමික්‍රෝන් BA 2 ප්‍රභේදය. මේ විදිහට කාලෙන් කාලෙට අනු ප්‍රභේද ගොඩනැඟෙන්න පටන් ගත්තා. ඔමික්‍රෝන් අනු ප්‍රභේදයට සාපේක්ෂව යම් යම් වෙනස්කම්, ජාන විකෘතිතා තිබෙනවා.

 

l මේ වන විට මේ ප්‍රභේදය ලෝකය පුරා පැතිර ගොස් ඇති ස්වාභාවය කෙබඳුද?

BA5 කියන අනු ප්‍රභේදය සොයා ගන්න පුළුවන් වෙන්නේ ජාන විශ්ලේෂණ පරීක්ෂණයෙන් පමණයි. ලෝකේ කොයිම වෙලාවකවත් පීසීආර් පොසිටිව් පරීක්ෂණ සියල්ල ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට භාජනය කරන්නේ නෑ. ඒ හේතු කීපයක් නිසයි. එකක්, එය මිල අධික වීම. අනෙක් කාරණය ඒකට අවශ්‍ය කරන තාක්ෂණ ඥානය, අනෙක විශේෂිත පරීක්ෂණ භාජන අවශ්‍ය වීම. පොසිටිව් වන සාම්පල්වලින් සියයට එකක් පමණ ජාන විශ්ලේෂණ පරීක්ෂණ ප්‍රමාණවත් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පවා අනුමත කර තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල සිදු වෙන්නේ ඒ ප්‍රමාණයයි. දකුණු අප්‍රිකාවෙන් ආරම්භ වුණු ඔමික්‍රෝන් BA5 ප්‍රභේදය, ජූනි 31 වැනිදා වන විට ලොව පුරා 2,16,604ක් වාර්තා වෙලා තිබෙනවා. මේ වන විට රටවල් 104කින් මේ ප්‍රභේදය වාර්තා වෙලා.

 

l ශ්‍රී ලංකාව තුළ මේ ප්‍රභේදයේ ව්‍යාප්තිය සංඛ්‍යාලේඛන සහිතව සඳහන් කළොත්...

BA5 කියන අනු ප්‍රභේදය සහිත රෝගීන් 20 දෙනකු වාර්තා වෙලා තියෙනවා. මේ රෝගීන් අපට වාර්තා වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. අපේ විද්‍යගාරයට ලැබුණු සාම්පල්වල දත්ත අනුව ලැබුණෙ මේ දිස්ත්‍රික්ක දෙකින් පමණයි. ඒ නිසා මේ පුදේශවලට පමණක් නොවෙයි; වෙනත් ප්‍රදේශවලත් රෝගීන් සිටින්න පුළුවන්. ඒත්, අප තහවුරු කර තියෙන්නේ කොළඔ සහ ගම්පහ ප්‍රදේශ දෙක තුළ රෝගීන්ගේ විස්සකගේ සාම්පල විතරයි.

 

l ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් BA5 පළමු රෝගියා වාර්තා වූයේ කවදාද?

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් BA5 පළමු රෝගියා කවදා වාර්තා වුණාද කියලා කියන්න බෑ. හැබැයි අපට කියන්න පුළුවන් BA5 සහිත සාම්පලයක් අපි තහවුරු කරලා තියෙන්නේ, ජූලි මාසේ පළමු සතියේ ලැබුණු සාම්පල් ආශ්‍රිතව. ඒ නිසා කවුද, කොහෙන්ද කියලා අදහසක් නෑ. අපි තහවුරු කරපු රෝගියා ජූලි මාසේ පළමු සතියේ තමයි වාර්තා වෙලා තියෙන්නේ.

 

l මෙහි රෝග ලක්ෂණ මොනවාද?

මෙහි රෝග ලක්ෂණ විශේෂිත වෙනසක් නෑ. BA5 කියන ප්‍රභේදය මඟින් ඇති කරවන රෝග ලක්ෂණ ඔමික්‍රෝන් රෝග ලක්ෂණ හා සමානයි. බොහොමයක්ම ගත්තාම මෙහි රෝග ලක්ෂණ වන්නේ, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස උගුරේ වේදනාව, ඇඟපත වේදනාව සහ අධික වෙහෙස ගතියයි.

 

l වරක් කොවිඩ්-19 වැලඳී සුව වූ අයකුට යළිත් ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳීමේ අවකාශයක් තිබේද?

ඔමික්‍රෝන් BA5 තමයි දැනට මේ ලෝකයේ දැනට වාර්තා වුණු වැඩිම වේගයෙන් පැතිරෙන ප්‍රභේදය. මේ වයිරසයට ඉක්මනට ආසාදනය වීමටත්, ප්‍රතිශක්තිය මඟහැර සිටීමේ විශේෂිත හැකියාවක් තියෙනවා. අපට ප්‍රතිශක්තිය ලැබෙන ප්‍රධාන ක්‍රම 2යි. එකක් තමයි, ස්වාභාවිකව රෝගය වැලඳීමෙන්. අනෙක් ක්‍රමය වන්නේ එන්නත්කරණයෙන් ප්‍රතිශක්තිය සපයා ගැනීමයි. කොවිඩ්-19ට එරෙහිව මේ ආකාර දෙකෙන්ම බහුතරයකට ප්‍රතිශක්තිය ලැබිලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ තමයි මේ BA5 කියන ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන්නේ. ඔබට කලින් රෝගය හැදිලා තිබ්බත්, එන්නත්කරණය කරලා තිබ්බත්, නැවත රෝගය වැලඳීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි ප්‍රතිශක්තිය මඟහැර යෑම කියලා කියන්නේ.

 

l මේ වසංගත අවදානමෙන් මිදීමට පිළිපැදිය යුතු උපදෙස් මොනවාද?

වසංගතයෙන් මිදෙන්න නම් භාවිත කළ යුතු ප්‍රධානම දේ තමයි එන්නත්කරණය. මූලික මාත්‍රා ගෙන නැත්නම් වහාම ඒවා ලබා ගන්න. මූලික මාත්‍රා ගෙන මාස 03ක් ගියාම බූස්ටර් මාත්‍රාව ගන්න. බූස්ටර් මාත්‍රාව ගෙන මාස 03ක් ගියාම නැවතත් බූස්ටර් මාත්‍රාවක් ගන්න. මේ ආකාරයට එන්නත් ගැනීම තමයි තියෙන ප්‍රධානතම අවිය. ඊට පසුව තමයි අනෙකුත් දේවල් තියෙන්නේ. ඒ ගැන අපි සියලු දෙනාම දන්නවා. නිවැ‍රැදිව හොඳ සුදුසු මුව ආවරණයක් පලඳින්න. එය ඉතා වැදගත්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටවල හුදෙකලාව එළිමහනේ ඉන්න විට එය නොපැලඳ සිටීමේ වරදක් මම දකින්නේ නෑ. එහෙත් කාමරයක් වැනි ආවරණය වී තියෙන තැනක, සමූහයක් ඉන්න තැනක මාස්ක් පැලඳ සිටීමෙන් ඔබට අමතර ආරක්ෂාවක් ලැබෙනවා. මෙය කොවිඩ්-19 සඳහා පමණක් නොවෙයි ශ්වසනනාලය හරහා බෝ වන ඕනෑම රෝගයකින් ආරක්ෂා වීමට අවකාශ ලැබෙනවා. ඒ වගේම හොඳින් සබන් යොදා දෑත් සේදීම හරිම වැදගත්. ඒ වගේම අපි හැමදාම කියනවා වගේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකෙන්න කියලා. සෙනඟ ගැවසෙන තැන් මඟ හැර සිටින්න. මෙවන් බෝවන රෝගයක් පැතිරීමේ රැල්ලක් ඇති අවස්ථාවක වැඩිපුර පරිස්සම් වීම ඔබගේ යුතුකමක් වගේම වගකීමක්.

 

l දැන් කොවිඩ්වලට මිනිසුන් එතරම් බියක් දක්වන්නේ නැහැ. ඔවුන් දරන මේ අවදානම ගැන ඔබේ අදහස කුමක්ද?

මෙහිදී වැදගත් වෙන්නේ ඔබට රෝගය හැදුණාට විශේෂයෙන්ම බූස්ටර් මාත්‍රාවක් අරගෙන තිබෙනවා නම්, ඔබ දරුණු රෝග තත්ත්වයට යෑමේ හැකියාව අවමයි. ඒකයි මම කලිනුත් කියලා තියෙන්නේ, බූස්ටර් මාත්‍රාව ගත්තා නම් බිය විය යුතු නෑ කියලා.

 

l තුන්වැනි මාත්‍රාව ගත්තම ඔමික්‍රෝන් පැමිණියත් බිය විය යුතු නැහැ කියා ඔබ මීට පෙර ප්‍රකාශ කොට තිබෙනවා. දැන් ඔමික්‍රෝන් පැමිණිලා. බිය විය යුතු නැද්ද?

අප කලින් කිව්වා, බූස්ටර් මාත්‍රාව ගත්තොත් ඔමික්‍රෝන්වලට බිය විය යුතු නෑ කියලා. මොකද, මේ අවුරුද්දේ පෙබරවාරි, මාර්තු මාසවල ඔමික්‍රෝන් ප්‍රභේදය ලෝකයට පැමිණෙන විට ලොව පුරා විද්‍යාඥයන් හඳුනා ගත්තේ මෙහි රෝග ලක්ෂණ තීව්‍රතාවය ඩෙල්ටා රෝගයට සාපේක්ෂව අඩු බවයි. විශේෂයෙන්ම එවැනි අඩු රෝග ලක්ෂණ සහිත කොව්ඩ් 19 රෝගයට එන්නත්කරණය කර ගත් කෙනකුට එය එතරම් ඇඟට දැනෙන්නේ නෑ.

හැදෙන්න පුළුවන්, ඒත් ඇඟට දැනෙන්නේ නෑ. එවන් දෙයක් තමයි, අපි ඔමික්‍රෝන්වලින් බලාපොරොත්තු වුණේ. මෙය BA5 කියන ප්‍රභේදයට සමානයි. හැබැයි, මෙහි තිබෙන විශේෂත්වය තමයි ආරම්භයේ අපි දැකපු ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා BA5 ප්‍රභේදයේ යම් යම් විකෘතිතා තිබීම. මෙය ඩෙල්ටා ප්‍රභේදයේ තිබුණු විකෘතිතාවලට සමානයි. ඒ නිසා මේ වන විට BA5 ආශ්‍රිතව ඇතිවන කොවිඩ් 19 රෝගය තීව්‍රතාවය තරමක් වැඩියි කියලා යම් යම් රටවලින් වාර්තා වෙනවා.

 

l සිව්වැනි මාත්‍රාවක් ගත යුතු බවට සෞඛ්‍ය නිලධාරීන් පවසා තිබෙනවා. එය අනිවාර්යයෙන්ම ගත යුතු බව ඔබ අනුමත කරන්නේද?

තුන්වැනි මාත්‍රාවක් ගැනීම තුළින් වාසි සහගත තත්ත්වයක් ලැබෙන බව මේ වන විට විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. අලුත්ම පර්යේෂණ දත්තවලින් පෙන්වලා දීලා තියෙනවා. තුන්වැනි මාත්‍රාවට වඩා වැඩි රැකවරණයක් සිව්වැනි මාත්‍රාවෙන් ලැබෙනවා කියලා. විශේෂයෙන්ම ඔබ තුන්වැනි මාත්‍රාව ගෙන මාස තුනකට වඩා ගිහින් නම්, සිව්වැනි මාත්‍රාව ගැන සිතීම වඩාත් වැදගත්. මොකද ඉන් ඔබට ලොකු රැකවරණයක් ලැබෙනවා. පළමුවැනි හා දෙවැනි මාත්‍රා දෙකට වඩා තුන් වැනි මාත්‍රාව ගන්න එක වැදගත්. එයින් මාස 03කට පසුව 04 වැනි එක ගන්න එක වැදගත්. මේ ආකාරයට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථාවත් කරගෙන ඉන්න එක වඩා වැදගත්.

 

l පෙර වගේ රෝහල් රෝගීන්ගෙන් උතුරා යෑමේ ස්වභාවයක් උද්ගත වුව හොත් ඊට සෞඛ්‍ය අංශ විසින් ගත යුතු පියවර මොනවා ද යන්න ගැන ඔබගේ අදහස කුමක්ද?

එවන් ආකාරයට විශාල රෝගීන් ප්‍රමාණයක් ආවත් පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන ඩෙල්ටා රෝගයත් එක්ක අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අද්දැකීම් සපයාගෙන තිබුණා. ඒ නිසා ඒ අද්දැකීම් ආශ්‍රයෙන් යම් කිසි අවස්ථාවක් ආවොත්, විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා මැනවින් අදාළ කටයුතු සිදු වේවි.

 

ශ්‍යාමා සමරසිංහ

නව අදහස දක්වන්න