කොළඹ ව්‍යාපාරික සංගමය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රටට දුන් පණිවිඩය අප කාගේත් දැඩි අවධානයට ලක් විය යුතුව තිබේ. විශේෂයෙන් රටේ තරුණ ප්‍රජාව ඒ කෙරෙහි නිරීක්ෂණ ඇස යොමු කිරීම වඩා වැදගත්ය. කොළඹ ව්‍යාපාරික සංගමය කරුණු සහිතව පෙන්වා දෙන්නේ මේ මොහොතේ ආර්ථිකයේ උත්පාදන මාර්ගවලට බාධා කරන හා ඒවා විනාශ කරන ඕනෑම ක්‍රියාවක් පාප කර්මයක් සේ සැලකිය යුතු බවය. ජාතියට වින කටින මහා පාප කර්මවලින් වළකින්නැයි එම සංගමය ඉල්ලා සිටී. රටක ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත්ම තීරණ ගනු ලබන සමාජ කණ්ඩායම ලෙස ව්‍යාපාරික ප්‍රජාව හැඳින්විය හැකිය.
එම සංගමය ඉතා සංවේදී එමෙන්ම යුක්තිගරුක තවත් අදහසක්ද පළ කරයි. එනම්, රාජ්‍ය තන්ත්‍රයේ දූෂණ හා නාස්තිය ගැන අරගල කිරීම හොඳ දෙයක් බවද රුපියලේ වටිනාකම ඉහළ දැමීම සේම ආර්ථිකයේ උත්පාදන මාර්ග වැඩි දියුණු කිරීම සඳහා සටන් වැදීම ඊටත් වඩා හොඳ දෙයක් බව ද පෙන්වා දීමය. එහෙත් ආර්ථිකය තවදුරටත් වළපල්ලට යවන කිසිදු ක්‍රියාමාර්ගයක් අනුමත කළ නොහැකි බව ඔවුහු පෙන්වා දෙති. පසුගිය මාස කිහිපය පුරා පැවැති අරගල හා සටන් ව්‍යාපාරවලින් රටේ ආර්ථිකයට සිදු වූ හානිය ඉතා බලවත් බවද ඔවුහු අවධාරණය කරති. රටේ උගත් බුද්ධිමත් තරුණ ප්‍රජාව මේ කෙරෙහි නිරීක්ෂණය කළ යුතුව තිබේ.
අප කවුරුත් දන්නා පරිදි රටේ ආර්ථිකය ඇත්තේ අතිශය බරපතළ තීරණාත්මක අවස්ථාවකය. එහි කඩා වැටීම කෙතරම්ද යත් අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය තුළ නැත. ඒ අනුව ආර්ථිකය ඍණ මට්ටමක පවතී. ආර්ථික ප්‍රතිපාදන මාර්ග තවදුරටත් අවහිර වුවහොත් මහජනයාට ජීවත් විය නොහැකි තත්ත්වයක් උදා වීම නොවැළැක්විය හැකි ය. මේ ශෝචනීය තත්ත්වයට ‘රටේ අනාගතය’ ඇද දැම්ම යුත්ති සහගතදැයි කොළඹ ව්‍යාපාරික සංගමය ප්‍රශ්න කරයි. රජය ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සඳහා බරපතළ පරිශ්‍රමයක යෙදී සිටිත්දී ඊට එරෙහිව සටන් වැදීම හා බාධා කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.
රටේ පවත්නා අරගල හා සටන් ව්‍යාපාර නිසා අපේ සංචාරක කර්මාන්තයට සිදු වී ඇති හානිය ඉතා බලවත් ය. කොවිඩ් සමය තුළ පවා අපේ සංචාරක කර්මාන්තය යථාවත් විය. එහෙත් අරගලවලින් පසු විදේශීය සංචාරකයන්ගේ පැමිණීම බින්දුවට පහළ බැස තිබේ. හෝටල් වැහෙන තත්ත්වයට පත්වී ඇත. සංචාරක ක්ෂේත්‍රය මත යැපෙන ලක්ෂ ගණනකගේ ආදායම් මාර්ග අවහිර වී ඇත. ඉදිරියේදී යුරෝපයට ශීත ඍතුව උදා වන අතර ඔවුන් සිය සංචාරය සඳහා ආසියාව තෝරා ගැනීම සාමාන්‍ය සිරිත වෙයි. මේ අතුරින්ද ශ්‍රී ලංකාව හොඳම ගමනාන්තය ලෙස සලකනු ලැබේ. එහෙත් අරගල පැවැතුණ හොත් සංචාරකයන්ගේ තේරීම බවට ශ්‍රී ලංකාව පත් වන්නේ නැත.
මැද පෙරදිග දියුණු රාජ්‍යයක් ලෙස පැවැති ජෝර්දානය සංචාරක කර්මාන්තයට ප්‍රසිද්ධ රාජ්‍යයකි. එහි පවත්නා ‘පෙට්රා’ නම් ඓතිහාසික කලාපය ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සලකනු ලැබේ. රටට අයත් වෙරළ තීරය, ජෝර්දාන් ගංගාව, උතුරේ කඳුකර දේශගුණය හා කෞතුකාගාර සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් වැදගත් ස්ථාන වේ. එරට ජාතික ආදායමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් උත්පාදනය වූයේ සංචාරක කර්මාන්තය වෙතින් ය. එහෙත් රටේ පවත්නා අරගල හා සටන් නිසා සංචාරක කර්මාන්තය පිරිහීමට ලක් විය. ජෝර්දානය මේ වන විට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. එහි තරුණ ප්‍රජාවෙන් 50%කට රැකියා නැත. උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළට ගමන් කරයි. අරගල නිසා ආර්ථික වශයෙන් ඇද වැටුණු රාජ්‍යයන් ගණනාවක් ඇත.
අපේ දේශපාලනයේ ඇති බරපතළ වැරැද්දක් නම් ආණ්ඩු කරන විට ආර්ථිකය ගැන ගැඹුරින් කල්පනා කිරීම හා විපක්ෂයට ගිය පසු එය නොසලකා කටයුතු කිරීම ය. පවත්නා අරගලවලට ප්‍රධාන පක්ෂ කිහිපයක සහයෝගය ලැබෙන බව රහසක් නොවේ. ඇතැම් පක්ෂ බලය ගැනීම සඳහාද තවත් පක්ෂ සියල්ල කඩාකප්පල් කිරීම සඳහා ද අරගලකරුවන්ට සහයෝගය දෙයි. එය උත්සන්න තත්ත්වයට ගෙන ඒම සඳහා උපාය මාර්ග සපයයි. දියුණු රටවල පවතින උසස් දේශපාලන සංස්කෘතිය අපේ රටේ නැත. ඇතැම් දේශපාලන පක්ෂ අරගලයේ නායකත්වය ගැනීමට උත්සාහ දරන බව ද දැක ගත හැකිය. මේ සියල්ල සැලකිය හැක්කේ ආර්ථික විනාශයේ දොරටු හැටියට ය.
බලයට පත් වන නායකයන් වරින් වර පලවා හැරීමට උත්සාහ දැරීමත්, කෙටි කාලසීමාවන් තුළ ආණ්ඩු වෙනස් කිරීමට වෑයම් කිරීමත් හොඳ දෙයක් නොවේ. දේශපාලන අස්ථාවරභාවය එයින් නිරූපණය වෙයි.
ජගත් සංවිධාන හා බලවත් රාජ්‍යයන් දේශපාලන අස්ථාවරභාවය සහිත රාජ්‍යයන් නොසලකා හරින අතර, ඒවා අසාධු ලේඛනයට බැර කරයි. ශ්‍රී ලංකාව පවතින්නේද එබඳු තැනකය. මෙය හැකි විගස වෙනස් කරගෙන ලෝක ප්‍රජාවගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට පරිශ්‍රමයන් දැරිය යුතුය. රට ඉදිරියේ ඇති ආර්ථික අවදානම වැඩි දෙනකු තේරුම් ගෙන නැත.
නව අදහස දක්වන්න