මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව මහින්දට හා බැසිල්ට 11 දා තෙක් රටින් පිටවීම තහනම් | දිනමිණ

මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව මහින්දට හා බැසිල්ට 11 දා තෙක් රටින් පිටවීම තහනම්

නෙල්කා මැදගෙදර

රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කරමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ලබන 11 වැනිදා තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා (01) තීරණය කළේය.

මේ අතර, තමන් විදේශගත නොවන බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල සහ හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරුන් සිය නීතිඥවරුන් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන ලද පොරොන්දුව ද එදින තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කෙරිණ.

අදූරදර්ශී ආර්ථික ක්‍රියාමාර්ග අනුගමනය කර නිසි කළමනාකරණයකින් තොරව කටයුතු කරමින් ආර්ථිකය බංකොලොත් කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේ මෙම නියෝගයන් සිදු කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා දෙවැනි දිනටත් සිය කරුණු දැක්වීය.

රට බංකොලොත් බවට පත් වෙමින් තිබියදී ඒ බව දැනගෙන සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා සැබෑ තත්ත්වයන් සඟවමින් සියල්ල යහපත් බව පවසමින් මහජනතාව නොමඟ යැවූ බව පැවසූ ඒ මහතා, තවදුරටත් පෙන්වා දුන්නේ 2022 මාර්තු මස අග වන විට මෙරට සතුව තිබුණේ සති දෙකකට පමණක් අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට ප්‍රමාණවත් මුදලක් බවයි. එසේ තිබියදී විදෙස් රටවලින් යම් යම් මුදල් ප්‍රමාණ සහ භාණ්ඩ ලැබෙන බවට ඔහු ප්‍රකාශ කළ බවද මෙම පෙත්සම්වලට අදාළව ඔහු ගොනු කර ඇති විරෝධතා සලකා බැලීමේදී මේතරම් ව්‍යසනයක් සිදුව තිබියදීත් රටේ නියම තත්ත්වය කුමක්දැයි තවමත් ඔහු වටහා ගෙන නැති බවද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය. රටේ පිස්කල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා වගකිවයුතු බව ඔහු කීය.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම, කාබනික පොහොර වගා දිරි ගැන්වීම යනාදිය අය - වැය වාර්තාවෙන් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, රටේ ආදායම අඩු වෙමින් තිබෙන අවස්ථාවක මෙවැනි තීරණ ගැනීම කිසිදු ආර්ථික පදනමක් නොමැතිව හුදෙක්ම දේශපාලන ප්‍රතිපත්ති මත පදනම්ව ගත් තීරණ පමණක් බවට චෝදනා කළේය. වගකීම් විරහිතව ඔවුන් කටයුතු කිරීම නිසා මේ වන විට රට බංකොලොත් වී ඇති බවත්, එහි අහිතකර ප්‍රතිඵල ජනතාවට විඳීමට සිදුව ඇති බවත් ඒ මහතා කීය. රටක විදේශ වත්කම් සහ මුදල් සම්බන්ධයෙන් වන වගකීම මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය සතු වන අතර, ඒ සම්බන්ධයෙන් රටවල් සමඟ තිබෙන සම්බන්ධතා පිළිබඳව වගකීම් මුදල් ඇමැතිවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයාට හිමි වන බව ද බව ඔහු සඳහන් කළේය. රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දීම වගඋත්තරකරුවන්ගේ වැරදි තීරණයක් බව කී ඒ මහතා, මෙවැනි තීරණ නිසා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් පෙත්සම්කරුවන්ට ඔවුන් ඉල්ලා සිටින සහන ගැනීමට අයිතියක් ඇති බව ද අවධාරණය කළේය.

වසර දෙකක් තුළ රට සතු විදේශ සංචිතවලින් ඩොලර් බිලියන 7ක් අඩු වූ අතර, එය සියයට 690ක ප්‍රතිශතයක් බව ඔහු පෙන්වා දුන්නේය. රට සතු මුදල් හදිසියේම අහිමි වී ඇති අතර, එය සිදු වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුව ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා කීය. මුදල් වැරදි ලෙස භාවිත කිරීම මෙන්ම විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට නොයෑම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයෑම යනාදී වගඋත්තරකරුවන්ගේ අත්තනෝමතික තීරණ නිසා මෙරට බංකොලොත් තත්ත්වයට පත් වූ බවට ඔහු චෝදනා කර සිටියේය.

ආර්ථිකය බිඳ වැටෙමින් තිබෙන බව වසර දෙකකට පෙර දැන සිටි බව වත්මන් මහබැංකු අධිපතිවරයා කෝප් කමිටුවේදී ප්‍රකාශ කළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා රටේ මූල්‍ය තත්ත්වය යහපත් කර ගැනීම සඳහා වගඋත්තරකරුවන් කිසිවක් නොකළ බව ද සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීන්දු බවට බැසිල් රාජපක්ෂ මහතා සහ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර තිබූ බවද ඔහු කීය. ඔහු කියා සිටියේ, දන්නා ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක රට මේ තරම් කඩා වැටී නැති බවයි. මෙම වගඋත්තරකරුවන් ගත් වැරදි තීරණ සහ නොකළ දෑ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය මඟින් සහතික කර ඇති පෙත්සම්කරුවන් ඇතුළු මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

අනතුරුව විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය කරුණු දැක්වීම ඇරඹීය.

පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම අගෝස්තු 10 වැනිදා සිදු කිරීමට නියම කෙරිණි. වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං, ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබ ඇත. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු මෙම පුද්ගලයන් රටින් පිටව ගියහොත් අදාළ විමර්ශන සාර්ථක නොවීමෙන් මෙරට ජනතාවට පිරිමැසිය නොහැකි පාඩුවක් සහ හානියක් සිදු වන බව මෝසම මඟින් පෙන්වා දී ඇත. මෙම වගඋත්තරකරුවන් රටින් පිටව ගියහොත් ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණ පැවැත්වීමට බාධාවක් වන බව මෝසම මඟින් පෙන්වා දී තිබේ. එබැවින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇති පරිදි වගඋත්තරකාර හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල යන අය විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෝසම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

වගඋත්තකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, හිටපු මුදල් අමාත්‍ය හා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වත්මන් මුදල් අමාත්‍ය සහ ජනපති රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, අලි සබ්රි, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල, ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු 39 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

නව අදහස දක්වන්න