අර්බුදයෙන් ගොඩ යන ප්‍රතිපත්තිය | දිනමිණ

අර්බුදයෙන් ගොඩ යන ප්‍රතිපත්තිය

ජනාධිපතිවරයාගේ රාජාසන කථාව විග්‍රහ කර බැලීමෙන් රටේ අනාගතය පිළිබඳ දළ සටහනක් ලබා ගත හැකිය. දේශපාලනයේ හා ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ආකාරය ගැනත් සමාජයේ යහ පැවැත්ම සඳහා ගනු ලබන උපාය මාර්ග ගැනත් හැඳින්වීමක් ඊට ඇතුළත්ය. එම වෙනස්කම්වලින් තොරව රට තුළ පවත්නා අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බව ඉතා පැහැදිලිය. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ පමණක් නොව, සමස්ත ජනතාව ද මේ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා යම් දායකත්වයක් සැපයිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි. එය පිළිගත යුතු සත්‍යයකි. සාමූහික ප්‍රයත්නයකින් තොරව පවත්නා අර්බුදය ජය ගත නොහැකිය. පොදු එකඟතාවක් හා දිගු කාලීන සැලසුමක් යන මූලික සංකල්ප දෙක කෙරෙහි රාජ්‍ය නායකයා වැඩි විශ්වාසයක් තබා ඇති බව පෙනෙයි. රාජ්‍ය පාලන ප්‍රතිපත්ති හා සංවර්ධනයේ උපාය මාර්ග තීන්දු කිරීම සඳහා සියලු පක්ෂවලට හා ජනතාවට ද සහභාගි විය හැකි ක්‍රමෝපායක් හඳුන්වා දීමට ජනාධිපතිවරයා වෑයම් කරයි. අනාගතයේ ක්‍රියාත්මක වීමට නියමිත ආංශික අධීක්ෂණ කමිටු හා ස්වාධීන ජනතාව ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. රාජ්‍ය නායකයා දේවත්වයෙන් සැලකිය යුතු පුද්ගලයකු නොවන බවද ඔහු සඳහන් කරයි. ඒකාධිපති ක්‍රමය වෙනුවට විනිවිද දැකිය හැකි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයා විශ්වාස කරයි.

තරුණ අරගලකරුවන්ගේ එක ඉල්ලීමක් වන්නේ දේශපාලන ක්‍රමයේ වෙනසක් යන්නය. එක අතකින් උගත් තරුණ පරම්පරාවට දේශපාලනයට ප්‍රවේශ වීම සඳහා අවස්ථාවක් තිබිය යුතුය. තව අතකින් රජය ගෙන යන වැඩසටහන් සම්බන්ධයෙන් මහජන මතය විමසා බලන අවස්ථාවක් පැවතිය යුතුය. මේ දෙකටම උත්තර දේශපාලන ප්‍රතිසංස්කරණ තුළ පවතී. එහෙත් ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට ඉඩ දිය නොහැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. සාමකාමීව අරගලයෙහි යෙදෙන පිරිසගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා කාර්යාංශයක් පිහිටුවීමට ද නියමිතය. එය දේශපාලන වෙනසකි. ආරවුල් විසඳා ගැනීමට නම් රාජ්‍ය පාලකයා ද නම්‍යශීලි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ යුතුය.

රාජාසන කථාවේදී පැහැදිලි වූ තවත් වැදගත්ම දේශපාලන සාධකයක් වන්නේ සියලු ජන වර්ගවලට, සියලු ආගම්වලට හා සංස්කෘතීන්වලට නිදහසේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසරයක් සකස් කර දීමය. දෙමළ ප්‍රජාවගේ දේශපාලන ගැටලු කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කරන බවද ජනාධිපතිවරයා කියා සිටී. තව අතකින් රටෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවගේ ආර්ථික සහයෝගය තමන් අපේක්ෂා කරන බවද රාජ්‍ය නායකයා පෙන්වා දෙයි. එය වඩාත් සාර්ථක ආර්ථික උපාය මාර්ගයකි. දේශපාලනයේදී පොදු එකඟතාව, සමානාත්මතාව හා විනිවිද දැක්මේ අවස්ථාව කෙරෙහි ජනාධිපතිවරයා විශ්වාසය තබා ඇති බව පෙනෙයි. නූතන රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් සලකා බලන විට ඊට වඩා සාර්ථක දේශපාලන ක්‍රමයක් හඳුනාගත නොහැකිය.

රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ද ස්ථාවර ආර්ථික තත්ත්වයක් තහවුරු කිරීම සඳහා ද ගනු ලබන විධිමත් ක්‍රියා මාර්ග රාජාසන කථාවට ඇතුළත්ය. ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා දිගින් දිගටම ණය ගැනීම සුදුසු ක්‍රමයක් නොවේ. ණය උගුලක හිර වුණු රාජ්‍යයන් පිළිබඳ ලෝක අත්දැකීම් ගණනාවක් පවතී. ණය හා පොලී ගෙවීම පහසු කටයුත්තක් නොවේ. අපනයන ආර්ථිකයක් වෙත ගමන් කිරීමෙන් ද, ආනයන සීමා කිරීමෙන් ද ගැටලුවට යම් විසඳුමක් ගත හැකිය. ඒ සමඟම පවතින සම්පත් අරපරිස්සමින් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඉන්ධන සම්බන්ධයෙන් එබඳු ක්‍රමවේදයක් දැනටම හඳුන්වා දී ඇත. මහජනතාව ඊට අනුගත විය යුතුව තිබේ.

ජාතික ආර්ථිකයේ අවස්ථා කිහිපයක් පිළිබඳ ඉඟියක්ද ජනාධිපතිවරයා පළ කරයි. ඒ අනුව 2025 වන විට ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වනු ඇත. 2026 වන විට ස්ථාවර ආර්ථිකයක් සඳහා පදනම සකස් කර ගැනීමට හැකි වනු ඇත. 2048 දී ශ්‍රී ලංකාවේ නිදහසට වසර සියයක් සපිරෙන විට සංවර්ධිත රටක් සේ අභිමානයෙන් යුතුව ලෝකය හමුවේ පෙනී සිටීමේ අවස්ථාව අපට උදා වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි. එය දිගු කාලීන ආර්ථික සැලැස්මකි. බලය කවුරුන් අත හුවමාරු වුව ස්ථාවර ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් අපට තිබිය යුතුය. එය අඛණ්ඩව පවත්වාගෙන යෑමෙන් ආර්ථික ජයග්‍රහණ ලබා ගත හැකිය.

නව වැනි පාර්ලිමේන්තුවේ තුන් වැනි සභා වාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා පැවැත්වූ රාජාසන කථාව අපගේ බලාපොරොත්තු දල්වන හා විශ්වාසයක් ගොඩනඟන සුවිශේෂ අවස්ථාවක් සේ සැලකිය හැකිය. මෙරට කොටස් වෙළෙඳපොළද ඊයේ (04) දිනයේදී ඉහළ යෑමට ජනාධිපතිතුමාගේ රාජාසන කථාව උත්තේජනයක් වී ඇති බව අලුත්ම ආරංචියයි. එය රටේ ජනතාව වන අපගේ සතුටට කාරණයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්බුදකාරී අවස්ථාවක රටට නායකත්වය දෙන්නේ විශ්වාසයෙන් යුතුවය. අර්බුද ජය ගත හැකි උපාය මාර්ග ඔහු හඳුන්වා දී ඇත. දැන් ඒවා ක්‍රියාත්මක කළ යුතුය. ක්‍රියාත්මක කිරීම සඳහා සියල්ලන්ගේම සහයෝගය දීම ද වැදගත්ය. රාජ්‍ය නායකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තවදුරටත් විග්‍රහ කර බැලීම ජනතාවට අයිති කාරණයකි.

නව අදහස දක්වන්න