ලංගම හරහා ඉන්ධන බෙදා දීම විධිමත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි | දිනමිණ

ලංගම හරහා ඉන්ධන බෙදා දීම විධිමත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි

ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු පෙන්වා දී තිබේ.
 
ඒ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (05) කැඳවූ අවස්ථාවේදියි.
 
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන, විදුලිය, ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලවල් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබිණි.
 
මෙම පෙත්සම් අද විජිත් මළල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.
 
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත්  කරනු ලබන වැඩිදුර යෝජනා අඩංගු දිවුරුම් ප්‍රකාශයක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නියෝග කළේය.
 
මෙම පෙත්සම් වැඩිදුර සලකා බැලීම අගෝස්තු මස 31 දා තෙක් කල් තැබුණි.
 

නව අදහස දක්වන්න