අපට දැන් ඕනෑ නීතියේ බලය | දිනමිණ

අපට දැන් ඕනෑ නීතියේ බලය

චතුමී පිටිපන
ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා-මණ්ඩපාධිපති, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා

- ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා 
මණ්ඩපාධිපති, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විධායක ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල පිළිබඳ පසුගියදා රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත විණි. ඒ රට තුළ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදකාරි වාතාවරණය හේතුවෙනි. මේ, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සමඟ කරන ලද සාකච්ඡා දෙකකි.

රටේ දරුණු ආර්ථික අර්බුදයක් පැනනැගී ඇති මෙවන් අවස්ථාවක ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ ඇයි?

දැන් අපට පැන නැගිලා තිබෙන මූලිකම ගැටලුව ආර්ථික අස්ථාවරත්වයයි. විදෙස් රාජ්‍යයන් අපට දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි කියන තැනට ඇවිත් ඉන්නවා. දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්න නම්, මහජන මතය නියෝජනය වන ආයතනය වෙන පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතු වෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට වසර 5ක ධුර කාලයක් පවතිනවා. ඊට පෙර ජනාධිපතිතුමා ඉල්ලා අස් වුණා. අගමැතිවරයා, ජනාධිපතිවරයා බවට පත් වුණා. හැබැයි, ජාත්‍යන්තරව අපට යම්කිසි පිළිගැනීමක් ගන්න නම්, සර්ව පාර්ශ්වික ආණ්ඩුවක් හදාගන්න ඕනෑ. මෙය මගේ පෞද්ගලික මතය. එතකොට සර්ව පාර්ශ්වික ආණ්ඩුවක් හදනවා කියන්නේ තැන් තැන්වලින් ඔළු ගෙඩි එකතු කරන එක නෙවෙයි. ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවලට කතා කරලා ප්‍රතිපත්තිමය වශයෙන් කාලයක් රට ගෙනියලා යම්කිසි ස්ථාවරත්වයක් ඇති කරන්න ඕනෑ. ඒ ඇති කරන කොට විශාල වශයෙන් පැමිණි ගැටලුව තමයි, තනි අභිමතයට ඉන්න විධායක ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ යම් යම් තීරණ නිසා රටට හානියක් වෙලා තියෙනවයි කියන එක. ඒ තුළ විධායකයේ පාර්ලිමේන්තුවට නතු කරන්නත්, විධායකයේ තියෙන යම් යම් අපරිමිත බලතල සීමා කරන්නත් තමයි මේ නව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්නේ.

හැබැයි මම හිතන දේ ඊට වඩා වෙනස්. මොකද මෙතැනදී 21, 22න් එන්නේ පැලැස්තර වීමයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අප යන්න ඕනෑ. ඒ සඳහා මේ රජය පොරොන්දු වුණා අවුරුදු දෙකකින් නව ව්‍යවස්ථාවක් ගේනවයි කියලා. ඒක හදලා ඇති දැන්. පසුගිය කාලයෙ හදපු එකකුත් තියෙනවා. අලුත් ව්‍යවස්ථාවකට ගියොත් තමයි, රට ස්ථාවර කරන්න පුළුවන් වෙන්නේ.

මේ ව්‍යවස්ථා සංශෝධනය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටත් පෙන්වන්න පුළුවන් නම් ඒක කෙටිකාලීනව හොඳයි. නමුත් දිගු කලීනව නම් නව ව්‍යවස්ථාවකට අපි යා යුතුයි. මේ ප්‍රශ්නය තවත් අවුරුදු ගණනාවක් ඉදිරියට යාවි. ශ්‍රී ලංකාවේ ඕන තරම් සම්පත් තියෙනවා. ඒත්, දැන් අපට ඕනෑ කරන්නේ නීතියේ බලය, නීතියේ ආධිපත්‍යය ඇති කරන්නයි. දැන් එක දිගටම ඝාතන රැල්ලක් ඇවිත්. එය නැවැත්විය යුතුයි. වැ‍රැදිකරුවන් අත්අඩංගුවට ගත යුතුයි.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කියවෙන්නේ මොනවාද?

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනකු තෝරා පත් කර ගැනීමට, ප්‍රධාන පක්ෂය, විපක්ෂය සහ කුඩා පක්ෂවල නියෝජිතයන් පත් කිරීමේ බලය ඒ ඒ පක්ෂවලට දීලා තියෙනවා. කතානායක ගේ අධීක්ෂණය යටතේයි මේ ව්‍යවස්ථාදායක සභාව තියෙන්නේ. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කරන්න ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගත යුතුයි, ජනාධිපතිවරයා දැරිය යුත්තේ ආරක්ෂක අමාත්‍යංශය පමණයි. ශ්‍රේෂ්ඨාධිකරණ පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලව ප්‍රශ්න කරන්න නම් කලින් තිබුණේ දින 07යි. දැන් දින 14ක් තිබෙනවා.

ඒ වගේම නිලධාරින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන පනත අහෝසි කරලා තොරතුරු ඉක්මනට ගේන්න තාක්ෂණය යොදා ගෙන කටයුතු කරන්න නව පනතක් යෝජනා කරලා තියෙනවා. අමාත්‍යාංශයක අමාත්‍යවරයකු සිය ධුර කටයුතු නතර කළ විට එහි කටයුතු සිදු කරන්න නව ලේකම්වරයකු පත් කරන තෙක් ලේකම්වරයා කටයුතු කරගෙන යා යුතුයි.

ලේකම්වරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, හා තානාපතිවරුන් පත් කිරීමේදී අගමැතිගේ උපදෙස් පරිදි කටයුතු කිරීම මෙන්ම ජනාධිපති සමාව දෙන විට චක්‍රලේඛය කින් කළ යුතුයි යන්නත් එහි අන්තර්ගතයි.

ඒ වගේම ජනාධිපතිගේ බලතල සීමා වීමක් සිදු වෙනවා. අගමැතිගෙන් විමසා සියලු දේ කළ යුතුයි. ජනාධිපතිට එකපාරට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ; අගමැතිගෙන් විමසිය යුතුයි. අගමැති අයින් කරන්න තනි කැමැත්තට බෑ. කැබිනට් ඇමතිවරු අයින් කරන්න අගමැතිගෙන් විමසිය යුතුයි. මේ ආකාරයට වගන්ති 60 ගණනක් මෙහි සඳහන් වෙනවා.

22ට විශේෂයෙන් ඇතුළත් කොට තිබෙන කොමිෂන් සභා මොනවාද?

පෙර තිබූ කොමිෂන් සභාවලට අමතරව ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ අල්ලස් හා දූෂණ කොමිසන් සභාව බලතල වැඩි කරලා ඇති කරලා තියෙනවා.

මෙරටේ මහජනයා මෙකල ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධනයක්ද?

ජනතාව අද වෙනකල් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලුවේ නෑ. තරුණයෝ අරගලයෙන් ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. රටේ සාමාන්‍ය මහජනයා ඉල්ලන්නේ ගෑස්, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ හෙළන්න, වැටුප් වැඩි කරන්න කියලයි. ඒත් ඇමැතිවරු පොරකන්නේ ඇමතිකම් හා වරප්‍රසාද ගන්නයි. පසුගිය දවස්වල කතා බැලුවාම අපිට පේන්න තියෙන්නේ ඒ අයගේ දුක් අඳෝනා සහ ඉල්ලීම්. නමුත් මේ රටේ ජනතාවට සහන දිය යුතුයි. ඒ වෙනුවෙන් අය වැයක් හෝ ගෙන ආ යුතුයි. යම් කාලයක් ගෙන හෝ ඊට හොඳ ප්‍රතිපත්ති රාමුවක් ගොඩනඟා ගත යුතුයි. ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි. ඔවුන්ට හැමදාම අරගල කරන්න බෑ. කුමන හෝ තැනකට යා යුතුයි. ඒ නිසා ජනතාවත් එක්ක සමාජ සම්මුතියක් ඇති කර ගත යුතුයි. සියලු පක්ෂ මේ සඳහා එකතු වීම අවශ්‍යයි.

යම් හෙයකින් 22 අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාව ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට තිබේද?

ඔව්, අනිවාර්යෙන්ම තිබෙනවා. පනත් කෙටුම්පතක් ආවම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවද නැද්ද කියලා අවසන් නිගමනය දෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ජනමත විචාරණයකින් හෝ පාර්ලිමේන්තුවේ 2/3කින් සමහර වගන්ති සම්මත කරගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇලපිල්ලක් හරි වෙනස් කරන්න නම් අපට 2/3ක බහුතරයක් අවශ්‍යයි. සමහර වගන්ති 1, 3, 5, 6, 8, 9, 10 වෙනස් කරන්න නම් ජනමත විචාරණයකුත් අවශ්‍යයි.


ජනපතිගේ තනි මතය 22න් මෙල්ල වෙනවා 
- ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා සමානද? එහි ඇති වෙනස්වීම් මොනවාද?

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විටත් හදලා ඉවරයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන යහපත් අංග 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු වන ආකාරයට මෙය සකස් කර තිබෙන්නේ. ජනාධිපති බලතල අඩු කිරීමටත් කටයුතු කර තිබෙනවා. එය සකස් කිරීමේදීත් වත්මන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාමයි අධිකරණ ඇමැතිවරයා විදියට ඒ කටයුතු සියල්ල කළේ. ජනාධිපති බලතල අඩු වීම, ජනාධිපතිට අගමැති සහ ඇමැති මණ්ඩලය ඉවත් කිරීමට ඇති බලතල 22 වැනි ව්‍යවස්ථාවෙන් අහෝසි කර තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුව බලපැවැත්වෙන පරිදි මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමටයි නියමිතව තිබුණේ.

ජනාධිපති බලතල පමණයිද මෙහිදී සංශෝධනය වන්නේ?

ප්‍රධානම දේ තමයි ජනාධිපති බලතල සීමා කිරීම. ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව සහ ඇමැති මණ්ඩලය ඉවත් කිරීමේ හැකියාව මෙහිදී ඉවත් කර ඒවා පාර්ලිමේන්තුවට භාර දී තිබෙනවා. එය ඉදිරියේදී සිදු කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩු ක්‍රම සම්බන්ධව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කමිටු තිබෙනවා. ඒ කමිටු පිළිබඳ ඇති යෝජනාව මෙහිදී සුබදායක නැහැ. එම කමිටුවලට පත් කරන මන්ත්‍රීන්ගෙන් කෙනෙක් ජනාධිපතිතුමා විසින් පත් කරනවා. ජනාධිපතිතුමාගේ නිර්දේශය අනුව බාහිර පුද්ගලයන් තිදෙනෙකු නම් කිරීමට තිබෙනවා. වඩාත් ප්‍රායෝගික සහ හොඳ ක්‍රමය ලෙස නිර්දේශ වී තිබුණේ වෘත්තිකයන්ගේ සංගමයෙන් එක් අයකු සහ විශ්වවිද්‍යාලයෙන් එක් අයකු ලෙස පත් කිරීම. එම යෝජනාව පිළිබඳව නැවත වරක් සලකා බැලීමට සිදු වෙනවා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී අවශ්‍ය නම් පමණක් ඒ පිළිබඳව අගමැතිතුමාගෙන් විමසිය යුතුය යන්න දැනට බලපැවැත්වෙන ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන්නේ. ඒ සම්බන්ධව විවිධ මත ප්‍රකාශ වී තිබුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධව අගමැතිතුමාගෙන් විමසිය යුතු බවත් අගමැතිතුමාගේ නිර්දේශ මත ඇමැති මණ්ඩලය පත් කළ යුතුය යන්න මෙම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර තිබුණත් එය ක්‍රියාත්මක කිරීම පසෙකට දමා තිබුණා. එහෙත් එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු දෙයක්.

මීට අමතරව දිවිත්ව පුරවැසිභාවය 22 වැනි සංශෝධනයේ මුල් අවස්ථාවේ අවලංගු කර තිබුණා. එය අලුත් ව්‍යවස්ථාවේත් අවලංගු කර තිබෙනවා.

මෙය 19 වැනි ව්‍යවස්ථාව නැවත ගෙන ඒමක්ද?

19 තිබෙන කාරණාවලින් වඩාත් රටට ගැළපෙන හොඳම දේ එහෙමම ගන්නවා. එහෙත් එහි තිබුණ යම් යම් අඩුපාඩු නැවත සකස් කිරීමක් කර තිබෙනවා.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට හොඳ දෙයක් සිදු වෙයිද?

පසුගිය වතාවේ ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයන් තිබුණා. ඒ නිසා මෙහිදී පිටස්තර විවිධ අංශවල දැනුම තිබෙන අය ඒ සඳහා පත් කිරීම සුදුසු බව තීරණය කොට තිබෙනවා.

මෙහිදී ලැබෙන්නේ ජනතාව ඉල්ලපු දේද?

ඔව්. ජනතාව බලාපොරොත්තු වුණේ ඒ දේවල් තමයි. ඒත් හැමදෙයක්ම කරන්න බැහැ. උදාහරණයක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම 22 වැනි සංශෝධනයෙන් කරන්න බැහැ. මෙහිදී බොරු බිල්ලකු මවනවාට වඩා අප වගේ රටකට එහි තිබෙන ගැළපීම සහ අන්තවාදීභාවය සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණකට එළැඹිය යුතුයි. ඒ නිසා 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ ගැන කතා කරන්නේ නැහැ. එයට හේතුව ලෙස මීට ප්‍රථම අවස්ථා ගණනකදීම ජනාධිපති ධුරය අහෝසි කිරීමට උත්සාහ දැරුවත් එය සාර්ථක වුණේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාව සමඟ ගැටීමක් ඇති නොවනතාක් දුරට පමණයි අපට සංශෝධන කළ හැක්කේ. ගැටීමක් ඇති වෙනවා නම් අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි එසේ නොමැති නම් එම ව්‍යවස්ථාවට 2/3ක ඡන්දයට අමතරව ජනමත විචාරණයකට යන්න ඕනෑ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් සිදු නොකර මේ කටයුතු කෙරෙන්නේ කොහොමද?

මේ අවස්ථාවේදී ජනතාවට අත්‍යවශ්‍යම දෑ එනම් 19 සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනවල තිබුණු හොඳ දේවල්වල එකතුවකින් කටයුතු කිරීම තමයි ප්‍රධාන වශයෙන් කළ යුතු වන්නේ. ජනාධිපති ධුරයට යම් බලතල ප්‍රමාණයක් පැවරෙන පරිදි එම බලතලවලින් ජනතාවට එක එල්ලේ බලපාන ඒකාධිපති ස්වරූපයට යා හැකි දේවල් පාර්ලිමේන්තුවට පැවරීම පිළිබඳව සාකච්ඡාවට භාජනය කළ යුතුයි. මෙම ක්‍රියාවලිය ඉතා පරිස්සමින් කරන්න ඕනෑ.

මෙම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මෙන් ජනාධිපතිතුමාට තිබෙන බලතලවලින් ඔහුගේ අභිමතය පරිදි ඕනෑම වෙලාවක ඇමැතිවරුන් මාරු කිරීම, ඇමැති ධුර ලබා දීම, ඔවුන්ගේ විෂය පථය වෙනස් කිරීම කරන්න බැහැ. ඒ සඳහා අගමැතිතුමාගේ අනුමැතිය අවශ්‍ය වෙනවා. මීට අමතරව යම් යම් පත්කිරීම් සිදු කිරීමේදීත් ජනාධිපතිවරයාට තනි මතයට කටයුතු කළ නොහැකියි. එහිදීත් අගමැතිවරයාගේ උපදෙස් ගැනීම අනිවාර්ය කර තිබෙනවා.

නව ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ආකාරය පැහැදිලි කළොත්...

විද්වතුන්ගේ සහ ජනතාවගේ මතය සලකා බලා පුළුල් සාකච්ඡාවකින් පසුව අප රටට ගැලපෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට මේ අවස්ථාවේ කටයුතු කළ යුතුයි. ඒ සඳහා 2/3ක ඡන්දය සහ ජනමත විචාරණයකට අනිවාර්යයෙන්ම යා යුතු වෙනවා. නව ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කර, දින හතකින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට එය ඇතුළත් කරනවා. ඉන් පසුව එළැඹෙන දින 7 තුළදී පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පවතින ව්‍යවස්ථාවට පටහැනි දේ තිබේ නම් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකියි. එම මතය ඉතා කෙටි කලෙකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට ලිඛිතව දැනුම් දෙනවා. ඉන් පසු මෙය විවාදයට භාජනය කොට සම්මත කර ගැනීමේ හැකියාව තිබෙනවා.

ශ්‍යාමා සමරසිංහ

නව අදහස දක්වන්න