කෑගල්ල හිටපු SSP ඇතුළු සිව්දෙනාට ලක්ෂ 25 බැගින් ශරීර ඇප | දිනමිණ

කෑගල්ල හිටපු SSP ඇතුළු සිව්දෙනාට ලක්ෂ 25 බැගින් ශරීර ඇප

රඹුක්කන වෙඩි තැබීම:

සෙසු තිදෙනාට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකුගේ ඇප

SSPට නි:පොලිස්පතිවරයකුගේ ඇපයක්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු සිව්දෙනා රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප මත නිදහස් කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇප තැබිය යුතු බවත් සෙසු තිදෙනාට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකුගේ ඇප මත නිදහස් කරන ලෙස සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය ඊයේ (05) නියෝග කළාය.

මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන ජිවන් ලක්මාල් කපුකොටුව, රෝමන් චානක කුමාර හා හොරණෑකාරයලාගේ සඳරුවන් ගුණරත්න ජයකොඩි නමැති සිව් දෙනාය.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිව්දෙනා වෙනුවෙන් ඉකුත්දා ඇප අයැදුම්පත් හතරක් සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණයට යොමු කර තිබුණි. එහිදී කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගෙන ඇති නඩු පොතේ පිටපත පැහැදිලි නැති බවත් ඉදිරි ඇප විරෝධතා හා විමසීම් දිනයේදී පැහැදිලි පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

ඊයේ (05) ඇප නඩුව කැඳවු අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝග සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්ත මහතා අධිකරණයට දන්වා සිටියේ 2022. 04. 19 යම් වෙඩි තැබීමකින් අවාසනාවන්ත ලෙස එක් පුද්ගලයෙක් මිය ගියා. ඇප ඉල්ලීම්වලට අදාළ සියලුම දෙනා පොලිස් නිලධාරින්. ඔවුන් අධිකරණයට පැමිණ ප්‍රකාශ දී තිබෙනවා. මාස තුන හමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වී සිටිනවා. ඔවුනට පෙර වැරදි නෑ. සැකකරුවන්ට ඇප දීමට කිසිම විරෝධතාවක් නෑ.

ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ රඹුක්කන ජනතාව ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක් කරන අවස්ථාවේ දී ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හැටියට ස්ථානයට ගිහිල්ලා තියෙනවා. යනකොට ජනතාව පාරවල් හරස් කර තෙල් බවුසර් රථයක් ඔවුන් භාරයට ගෙන තියෙනවා. පිරිසක් තෙල් බවුසර් රථයට ගිනි තියන්න ලෑස්ති වෙලා ඉදලා තියෙනවා. බැරි වෙලාවත් තෙල් බවුසර් රථයට ගිනි තැබුවා නම් අද රඹුක්කන නගරයක් නෑ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හැටියට විරෝධතාකරුවන්ට දණහිසින් පහළට වෙඩි තැබීමට සත්භාවයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නියෝග කර තිබෙනවා. සුළු ඇපයක් මත සැකකරුවන් සිව් දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා.

දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප දෙකක් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිදහස් කරන ලෙසත් එක් ශරීර ඇපයක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විය යුතු බවත් දෙවැනි ශරීර ඇපය පෙත්සම්කරු හෝ පෙත්සම්කාරිය විය යුතු බවත් විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට පත් කරන ලෙසත් විදේශ ගතවීමට අවශ්‍ය නම් අධිකරණයට දැන්විය යුතු බවත් නියෝග කළාය. කිසිදු සාක්ෂිකරුවකුට බලපෑමක් නොකරන ලෙසත් එවැනි වාර්තාවක් අධිකරණයට වාර්තා වුවහොත් ඇප අවලංගු කරන බවත් නියෝග කළාය. සෙසු තිදෙනාට පළමු ශරීර ඇපය ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇප තැබීය යුතු බවත් සෙසු ඇපය ඉහත සඳහන් ඇප කොන්දේසි විය යුතු බවත් දැන්වීය. සියලුම ඇප කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ තබන ලෙසට අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට මහාධිකරණය විනිසුරුවරිය නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්ත රජයේ අධිනීතිඥ අරින්ද්‍ර ජයසිංහ මහත්වරු පෙනී සිටි අතර සැකකරුවන් සිව්දෙනා වෙනුවෙන් නීතිඥ මොහාන් වීරකෝන් මහතා පෙනී සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක උප පොලිස් පරීක්ෂක විජේසූරිය නිලධාරින් ද අධිකරණයේ පෙනී සිටියේය.

2022 අප්‍රේල් 19 වැනිදා පෙරවරුවේ 3.00ට ආසන්න පිරිසක් වු රඹුක්කන ජනතාව ඉන්ධන ඉල්ලා රඹුක්කන කුරුණෑගල මාර්ගය රඹුක්කන මාවනැල්ල මාර්ගය හා රඹුක්කන කෑගල්ල ප්‍රධාන මාර්ග තුන වසා දමා රඹුක්කන සමුපකාර ඉන්ධන පිරවුම්පොළ ආසන්නයේ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්විණි. සවස් වන විට උද්ඝෝෂණකරුවන් හා පොලිසිය අතර උද්ඝෝෂණය උස්සන්නවීමෙන් උද්ඝෝෂණකරුවෝ පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කළහ.පසුව පොලිසිය වෙඩි තැබීමක් සිදු කර තිබුණි. එම වෙඩි තැබීමේ දී දේවාලේගම හිරිවඩුන්න නාරංබැද්ද කරදගස්තැන්න ලිපිනයේ පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් නැමැති 42 හැවිරිදි දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත් වී තවත් සිවිල් වැසියන් 13 දෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි. කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්ත මහතා ඇතුළු පොලිස් නිලධාරින් 20 දෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කෙරිණ. පසුව වෙඩි තැබීමේ ස්ථානය හා මරණයට පත්ව සිටි පුද්ගලයාගේ දේහය තැන්පත් කර තිබුණු කෑගල්ල මහ රෝහලට ගොස් මුලික විමර්ශන කටයුතු කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් සිදු කළාය.

පසුව රඹුක්කන පොලිසිය බී වාර්තාවක් මගින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරිණ. පසුව පොලිසිය සිදු කරමින් තිබුණු ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා මහනුවර පල්ලේකැලේ පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනා අත්අඩංගුවට ගෙන 28 වැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත් බුලත් කොහුපිටිය සමූහ - ඩබ්ලිව් රෝහණ

නව අදහස දක්වන්න