යුපුන්ට - පාලිතට අපේ සුබපැතුම්! | දිනමිණ

යුපුන්ට - පාලිතට අපේ සුබපැතුම්!

ඇසිපිය නොහෙළා රූපවාහිනී තිරය දෙස බලා සිටි දහස් ගණනක් වූ ශ්‍රී ලාංකේය ජනී ජනයාගේ හද ගැස්ම මොහොතකට නවතියි. දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් විරුදාවලි ලත් යුපුන් අබේකෝන් 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී ලේඛනය මත ශ්‍රී ලංකාවේ නාමය ද සටහන් කළේය. ඔලිම්පික් ක්‍රීඩා උලෙළට හා ලෝක මලල ක්‍රීඩා උලෙළට පමණක් දෙවැනි වන්නේ යැයි කියනු ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී ශ්‍රී ලංකාවට පදක්කමක් ලැබෙන්නේ වසර විසි හතරකට පසුවය. තවත් සුළු වෙලාවක් උණුසුම් ලෙස ගෙවී යත්දී කවපෙත්ත විසි කිරීමේ (පැරා) තරගයේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට ලබා දීමට පාලිත බණ්ඩාර සමත් විය. කළු වලා මැදින් රිදී රේඛා දුවන බවක් අපට හැ‍ඟෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ආරම්භ වන්නේ 1930 දීය. එහි ගැඹුරු අර්ථය ලෙස හැඳින්වෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ යටත්විජිතවාදයෙන් නිදහස් වූ රාජ්‍යයන් අතර මානුෂිකත්වය, සමානාත්මතාව, අභිමානය හා ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමය. දෙවැනි ලෝක යුද සමය තුළ වසර කිහිපයක් නොපැවැත්වූ මේ ක්‍රීඩා උලෙළ යළිත් ආරම්භ වී සෑම සිව් වසරකටම වරක් අඛණ්ඩව පැවැත්වීමට පොදු රාජ්‍ය මණ්ඩලය සමත් වී ඇත. මෙවර තරගාවලිය එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පසුගිය ජූලි 28 දා ආරම්භ විය. තරගාවලියට රාජ්‍යයන් හැත්තෑ දෙකක් සහභාගි වන අතර, ජවන හා පිටිය තරගවලට එහිලා කැපී පෙනෙන ස්ථානයක් ලැබී ඇත. යුපුන් අබේකෝන් විසින් දිනා ගනු ලබන්නේ මීටර් 100 ධාවන තරගයේ ලෝකඩ පදක්කමය.

ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් බව අමුතුවෙන් කිව යුතු නැත. නිදහසින් පසු අපේ රට මුහුණ දෙන දුෂ්කරම කාල වකවානුව ලෙස එය හඳුන්වනු ලැබේ. දරුණු ආර්ථික අර්බුදයක්, සංකීර්ණ දේශපාලන පසුබිමක්, හා වර්ධනය වන සමාජ කැලඹීමක් අප ඉදිරියේ පවතී. මේ කාලය තුළ සමාජය පුරා ව්‍යාප්ත වන්නේ දුක, වේදනාව හා අවිනිශ්චිතභාවය යැයි කිව හැකිය. ඒ අතර යම් සැනසිල්ලක්, තෘප්තියක් හා බලාපොරොත්තුවක් දැල්වීමට අපේ ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ සමත් වී සිටිති. ඔවුන් අපට කියා දෙන වැදගත්ම පාඩම වන්නේ අධිෂ්ඨානය, කැපවීම හා නිවැරැදි ඉලක්ක ඇතොත් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බවය. මේ මොහොතේ යුපුන්ට හා පාලිතට මුළු මහත් ජාතියේම උණුසුම් සුබපැතුම් හිමි වනු ඇත.

“මා මේ ඉලක්කය ජය ගැනීම සඳහා කළ කැපවීම, පුහුණුව හා අධිෂ්ඨානය ගැන දන්නේ මා පමණි.” යැයි යුපුන් ජනමාධ්‍යයට කියා ඇත. “ මාගේ පෞද්ගලික ජීවිතය, නි‍ෙවස හා පවුල තාවකාලික ලෙස අමතක කරමින් නොකඩවා පුහුණුවීම්වල යෙදුණු බව” පාලිත කියා ඇත. බොහෝ දේවල් දරාගනිමින්ද, ඉවසමින් ද තමන්ගේ ඉලක්ක කරා ගමන් කළ ක්‍රීඩකයන්ගේ කතාව ජයග්‍රහණයෙන් පසු ඔවුන් හෙළිදරව් කර තිබේ. මේ ජයග්‍රහණ අයත් වන්නේ මුළු මහත් ශ්‍රී ලංකාවටමය. අපේ මවුබිම ගරා වැටුණු ආර්ථිකයකට හිමිකම් කියන අසාර්ථක රාජ්‍යයක් ලෙස ලෝකය හඳුන්වමින් සිටියදීය. අපට නැඟී සිටිය හැකි බව හඬගා කියන්නට මේ ක්‍රීඩා ජයග්‍රහණ සමත් වනු ඇත. ශ්‍රී ලංකාව බොහෝ නිපුණතාවලින් සමන්විත මිනිස් සමාජයක නිජබිමක් වන්නේය.

මීටර් 100 ධාවන තරගය යනු මුළු ලෝකයේම අවධානය යොමු වන තරග ඉසව්වකි. අමෙරිකාව, ජැමෙයිකාව, චීනය, ඔස්ට්‍රේලියාව වැනි රටවල ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ මේ තරග ඉසව්ව සඳහා බොහෝ කැපවීම් කරති. ලෝකයේ වේගවත්ම ගැහැනිය හා පිරිමියා නම් කරනු ලබන්නේ ද මීටර් 100 ධාවන තරගය පාදක කරගෙනය.

මේ තරගය සඳහා භාවිත කරනු ලබන තාක්ෂණ විධි පුහුණුවීම් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවත්වාගත යුතු ශරීර යෝග්‍යතාවන් වෙනස්ය. ශ්‍රී ලංකාව වැනි රටවල මීට අදාළ පහසුකම් අද ඉතා අඩු බව පිළිගත යුතු කාරණයකි. එහෙත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහජ දක්ෂතා හා කැපවීම් මත ලෝක ක්‍රීඩා ඉතිහාසයේ සටහනක් තැබීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් අපට තිබිය යුතුය.

මීටර් 100 ධාවන තරග ඉසව්ව දෙස බලන විට කාල් ලුවිස්, බෙන් ජොන්සන්, උසේන් බෝල්ට් වැනි ක්‍රීඩකයෝ අප සිහියට නැ‍ඟෙති. ඔවුන්ගේ ජවය, ක්‍රීඩා විලාසය හා ශරීර යෝග්‍යතාව පුදුමාකාරය. එහෙත් මේ සියල්ල පවතින්නේ නිශ්චිත කාල සීමාවක් තුළ පමණි. එය හඳුනාගෙන එම කාලයෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට වගබලා ගත යුතුව තිබේ. යුපුන් අබේකෝන්ගේ ද හොඳම කාල වකවානු පැමිණ ඇත. ඉන් උපරිම ප්‍රතිඵල ලබා දීමට ක්‍රීඩා බලධාරීන් ක්‍රියා කළ යුතුව තිබේ. බර්මින්හැම් මීටර් 100 තරගයේ රන් පදක්කම දිනාගත් කෙන්යාවේ ඔමන්යාලා තරගය නිමා කළේ තත්පර දහයකුත් දශම බින්දුවයි දෙකටය. ඔමන්යාලා හා යුපුන් අතර කාලයේ වෙනස තත්පරයකින් දශම කිහිපයකි. මේ තරගයේ රිදී පදක්කම දිනාගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩක අකානි සිම්බිනිට කරට කර තරගයක් දීමට ද යුපුන් සමත් විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගවලදී ඔස්ට්‍රේලියාව වැනි බලවත් රාජ්‍යයන් වැඩි පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වී ඇත. එහෙත් වරින් වර ශ්‍රී ලංකාවේ නාමය ද පොදු රාජ්‍ය මණ්ඩලය තුළ නොමැකෙන ලෙස සටහන් කර තැබීමට අපේ ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ සමත් වූහ. සුගත් තිලකරත්න හා ශ්‍රියානි කුලවංශ මෑත කාලය තුළ එම අවස්ථා ශ්‍රී ලංකාවට හිමි කර දුන්හ. මේ වන විට ක්‍රීඩාවේ සෑම තරග ඉසව්වකටම පාහේ ජව සම්පන්න කණ්ඩායම් ඉදිරිපත් වී සිටී. ඔවුන් සඳහා නිසි පුහුණුවක් දීමට ක්‍රීඩා බලධාරීන් පියවර ගත යුතුය. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට තරග වදින සියලු ශ්‍රී ලාංකිකයන්ට අපගේ සුබපැතුම් එකතු කරමු.

නව අදහස දක්වන්න