සාරංගී දුර පැනීමේ අවසන් තරගයට | දිනමිණ

සාරංගී දුර පැනීමේ අවසන් තරගයට

බීච් වොලිබෝල් පිලට අවසන් වටය මඟහැරෙයි

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් සාරංගී ද සිල්වා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. සාරංගී සහභාගි වන මේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලවෙන් හෙට රාත්‍රී 11.35ට පැවැත්වීමට නියමිතය. බර්මින්හැම් ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති කාන්තා දුර පැනීමේ ඉසව්වේදී සාරංගී ද සිල්වා මීටර් 6.42ක දක්ෂතාවකින් ක්‍රීඩිකාවන් 17කින් 10 වැනි ස්ථානයට පත් වූවාය. මේ තරගයේ මූලික වටයේදී මීටර් 6.85කින් තරගය කිම කළ ඝානාහී අකුවා ඩොබේරා විසින් හොඳම දක්ෂතාව ප්‍රදර්ශනය කළාය. සාරංගී මේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මීටර් 6.65කින් පිහිටුවා ඇති බැවින් අවසන් තරගයේදී ඊයේ දිනයට වඩා දක්ෂතා දක්වනු ඇතැයි විශ්වාස කළ හැක.

මේ අතර කාන්තා මීටර් 1500 මූලික වටයේ තරගයට එක් වූ ගයන්තිකා අබේරත්න එම ඉසව්ව මිනිත්තු 4:16.97කින් නිම කිරීම හේතුවෙන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා අහිමි වී ගියේය. මේ මූලික වටයේ හොඳම කාලය නයිජීරියාවේ මැගියාන් කයිරා මිනිත්තු 4:13.52කින් පළමු ස්ථානයට පත් වූවාය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටිති. පිරිමි ඒකල බැඩ්මින්ටන් තරගයේදී දුමින්ද අබේවික්‍රම තරග වට 2-0ක් ලෙස මෝල්ටාවේ සැමුවෙල් ක්‍රේසර් පරාජය කොට ක්‍රීඩකයන් 16 දෙනාගේ වටයට පිවිසියේය. එහිදී ඉන්දීය ක්‍රීඩක කිදම්බි ශ්‍රී කාන්ත්ගේ තර්ජන හමුවේ දුමින්ද අබේවික්‍රම පසු බැසීමට ලක් විය. පළමු වටය ලකුණු 21-9ක් හා දෙවැනි වටය ලකුණු 21-12ක් විය.

බැඩ්මින්ටන් පිරිමි යුගල තරගයේදී බුවනෙක ගුණතිලක හා සචින් ඩයස් තරගවට 2- 0කින් බාර්බඩෝස් පිල පරදා 16 දෙනාගේ වටයේදී මාලදිවයින සමඟ තරග කිරීමට නියමිතය. මිශ්‍ර යුගල 32 වටයේ තරගයේදී සචින් ඩයස් හා තිළිණි හෙන්දහේවා කැනඩාව 2-0කින් පරාජය කොට 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්හ. එහිදී දකුණු අප්‍රිකාව සමඟ තරග කිරීමට නියමිතව තිබිණි.

එමෙන්ම ඒකල 16 දෙනාගේ තරග වටයේදී නිලූක කරුණාරත්න සිංගප්පූරුවේ ජේ. ටෙහේ සමඟ තරග කිරීමට සූදානමින් සිටියේය.

බීච් වොලිබෝල් අර්ධ අවසන් පූර්ව වටයේදී මලින්ත යාපා හා අශේන් රෂ්මික ඔස්ට්‍රේලියාවේ මැක්හග් හා බර්නේට් වෙතින් 2-1කින් පරාජයවී අවසන් පූර්ව වටය අහිමිවී ගියේය. ලකුණු තත්ත්වය වූයේ 21- 18, 16 - 21 හා 9-15 විය. මලින්ත - අශේන් යුගලය තරග වට 2-0කින් සාන්ත කිට්ස් හා නෙවීස් හී සියාබ්‍රෝකර්ස් හා හෝජ් පරාජය කොට මේ අර්ධ අවසන් වටයට පැමිණියහ. චතුරිකා මධුෂානී හා දීපිකා බණ්ඩාර තරග වට 2-0කින් ට්‍රිනිඩෑඩ් ටොබෑගෝ පරාජය කොට කැනඩාවේ පවාන් හා මලීෂා සමඟ තරග වැදීමට සූදානමින් සිටිති.

 

නව අදහස දක්වන්න