වනිඳුට කෝටි 4ක ගිවිසුමක් අහිමි වෙයි | දිනමිණ

වනිඳුට කෝටි 4ක ගිවිසුමක් අහිමි වෙයි

එංගලන්තයේ පැවැත්වෙන පන්දු සියය හෙවත් ‘ද හන්ඩ්‍රඩ්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ. මේ තරගාවලියේ මැන්චෙස්ටර ඔරිජිනල්ස් කණ්ඩායම සමඟ වනිඳු පවුම් 100,000ක මුදලකට ගිවිසුම්ගත වී තිබූ අතර, මේ තරගාවලියට එක් නොවීමෙන් ඔහුට එම මුදල අහිමි වනු ඇත. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 438කට සමාන මුදලකි. වනිඳුට මේ තරගාවලියට එක් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර දෙමින් නිකුත් කරන විරෝධතා නොමැති බවට සහතිකය හෙවත් NOC දීම ප්‍රතික්ෂේප කිරීම මීට හේතු වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ මස 27 වැනිදා ආරම්භ වන ආසියා කුසලාන තරගාවලිය සහ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔහු ශාරීරිකව හා මානසිකව යහපත් මට්ටමක පවත්වා ගැනීමේ අවශ්‍යතාව මත මේ පියවර ගත් බවයි. කෙසේ වෙතත් වනිඳු මේ ගිවිසුමෙන් ඉවත් වුවද මැන්චෙස්ටර් කණ්ඩායම අවශ්‍ය නම් ලබන වසරේ තරගාවලිය සඳහා ඔහු රඳවා ගැනීමට හැකියාව තිබේ.

එල්පීඑල් තරගාවලිය පසුගිය 31 වැනිදා සිට ආරම්භ කිරීමට මින් පෙර කටයුතු යොදා තිබූ බැවින් වනිඳුට ද හන්ඩ්‍රඩ් තරගාවලිය අහිමි වනු ඇතැයි අපේක්ෂා කළ අතර, එල්පීඑල් තරගාවලිය කල් දැමීම හේතුවෙන් ඔහුට මේ තරගාවලියට එක්වීමේ අවස්ථාව උදා විය.

කෙසේ වෙතත් වනිඳු වෙනුවට දකුණු අප්‍රිකා පිතිකරු ට්‍රිස්ටන් ස්ටබ්ස් එක් කර ගැනීමට මැන්චෙස්ටර් කණ්ඩායම කටයුතු කර ඇතැයි වාර්තා වේ.

නව අදහස දක්වන්න