ලක්ෂ විස්සක රන් බඩුත් එක්ක මේසන් - ගෝලයා මාට්ටු | දිනමිණ

ලක්ෂ විස්සක රන් බඩුත් එක්ක මේසන් - ගෝලයා මාට්ටු

දහනවලක්ෂ අනුදාහක සොරා ගන්නා ලද රන් භාණ්ඩ සමඟ සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් වූයේ කෑගල්ලේ පදිංචි පෙදරේරු රැකියාවේ නියුතු 24 හැවිරිදි තරුණයෙක් සහ ඔහුට අනුබල දුන් කිරිඳිවැල පදිංචි 25 හැවිරිදි විවාහකයෙකි. සැකකරුවන් සමඟ රන් භාණ්ඩ සියල්ලම සොයා ගෙන තිබේ.

නිවැසියන් නොමැති අවස්ථාවේ අතුරුගිරිය, පෝරේ ප්‍රදේශයේ වසා තිබූ ජනේලයක උඩ කොටසින් ඇතුළු වී අල්මාරිය තුළ තිබූ මුදු 2ක්, සුරයක්, කාන්තා බ්‍රේස්ලට් 2ක්, රන්මාල 3ක්, වළලු 2ක් හා කරාඹු ජෝඩු 2ක් මෙලෙස සොරාගෙන තිබුණේ පසුගිය 01 වැනිදාය. ගෙහිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයේදී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය පෝරේ, ගල්පොත්ත පාරේ නවාතැනක කාමර දෙකක නවාතැන් ගෙන සිටින අතර පෙදරේරු රැකියාවේ නියුතු තරුණයා වැඩ කර දෙන බව පවසා ලක්ෂ 5ක මුදලක් ණය වී ඇතැයි අනාවරණය වි තිබේ. මිතුරා සමඟ පැමිණ මෙම සොරකම සිදු කර ඇති අතර මිතුරා විසින් ඔත්තු බලමින් ඔහුට උදව් කර තිබේ.

සොරා ගත් මුදු 3 මිතුරා විසින් උකස් කර රුපියල් අසූදාහක් ලබාගෙන ඇති අතර එම මුදු ද පොලීසිය භාරයට ගෙන තිබේ. ඉතිරි රන් බඩු ප්‍රධාන සැකකරුගේ ත්‍රීරෝද රථයේ කාපට් එක යට සඟවා තිබියදී සොයාගෙන තිබේ. මොහු මෙම සොරකම සිදු කර ඇත්තේ ණය මුදල ගෙවා දමා යළි ගමට යෑමට බවට පාපොච්ඡාරණය කර තිබේ. දෙවන සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාවකට වසර පහක් සිරදඩුවම් විඳ පැමිණ ඇත්තේ පසුගිය වසරේ අවසන් කාලයේ බව පොලීසිය පවසයි.

අතුරුගිරිය ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රුපසිංහ, පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රේමලාල්, විරසිංහ, සැරයන් 36709 සුකුමාරන්, කොස්තාපල් 76215 ප්‍රසාද්, 84898 හර්ෂ, 928 සුසන්ත, 92515 හෙට්ටිගේ යන නිලධාරින් මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

හල්තොට සමූහ විනිතා මානෙල් ගමගේ

නව අදහස දක්වන්න