සර්ව පාක්ෂික ආණ්ඩුවක් බැරි නම් සර්ව පාක්ෂික පාලනයකට යමු | දිනමිණ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බැරි නම් සර්ව පාක්ෂික පාලනයකට යමු

සජබ නායකයන් හමුවේ ජනපති කියයි

සාකච්ඡා ඉදිරියට ගෙන යන්න සූදානම්

ඉදිරියේදී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කිරීමට තමා යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

1977 ආණ්ඩු පෙරළියේදී 6/5ක බලයක් ගෙන ආණ්ඩුවක් හදා රට ගොඩනැඟුවත් වර්තමානයේ 6/5ක බලයක් තිබුණත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව රට ගොඩනැඟීමට නොහැකි බව කී ජනාධිපතිවරයා එකම විකල්පය සර්ව පාක්ෂික පාලනයක් පමණක් බවත් සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන සන්ධානය සමඟ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් වන ලෙස අපි සියලු පක්ෂවලට ආරාධනා කළා. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ අපි සාකච්ඡා කරමින් සිටිනවා. රටේ ආර්ථිකය දැන් අසීරු තත්ත්වයකයි තිබෙන්නේ. මේ තත්ත්වයෙන් ගොඩ එන්න සියලු දෙනා එක් වෙලා ආණ්ඩුවේ ඇමැති ධුර භාර අරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රට ගොඩනඟන්න කටයුතු කරන්න ඕනෑ. මම සමඟි ජන සන්ධානයට ආරාධනා කරනවා සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් වෙලා අපිත් එක්ක කටයුතු කරන්න. මේ සියලු දෙනා මාත් සමඟ වැඩ කරපු අය. ගැටලුවක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුළුවන්.

1941 වසරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධුරය දරන ගමන්ම ඇමැති ධුර භාර ගත්තා. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළා. එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්.

1977 ආණ්ඩු පෙරළියේදී 5/6 බලයක් අරගෙන ආණ්ඩුවක් හදලා රට ගොඩනැඟුවා. හැබැයි දැන් 6/5ක බලයකින්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිව රට ගොඩනඟන්න බැහැ. එකම විකල්පය සර්ව පාක්ෂික පාලනයක් පමණයි.

පසුගියදා සිදු වූ ප්‍රචණ්ඩකාරි වැටලීම් හේතුවෙන් අපිට හිදිසි නීතිය පැනවීමට සිදු වුණා. එහෙත් හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණාට ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේදී යම් යම් නීති පැනවීමට සිදු වෙනවා. එහිදී හදිසි නීතිය අවශ්‍යයි.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය එලෙසින්ම ඉදිරියට ගෙන යන ලෙස අපි යෝජනා කරන්න කැමැතියි. එදා ඔබතුමා රටේ අගමැතිවරයා ලෙස 19 වැනි සංශෝධනය ගෙන ඒමට නායකත්වය දුන්නා. එය ඉතා යහපත් පියවරක්. එම

නිසා එය තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙස අප ඉල්ලා සිටිනවා. එමෙන්ම 19 වැනි සංශෝධනය යටතේ ව්‍යවස්ථාපිත කවුන්සිලයක් පත් කරන සංඛ්‍යාව 20 වැනි සංශෝධනයෙන් වැඩි කර තිබෙනවා. එය 19 වැනි සංශෝධනයේ තිබුණු පරිදිම

තබා ගැනීම ඉතා වැදගත් බව සිහිපත් කරන්න කැමතියි.

සමඟි ජන සන්ධාන අද මේ සාකච්ඡාවට පැමිණියේ ධනාත්මක සිතුවිලිවලින් යුක්තවයි. මේ අවස්ථාවේ රටක් ලෙස අපි මේ සාකච්ඡාවට එක් විය යුතුයි.

වර්තමානයේ රටේ පවතින්නේ අසාමාන්‍ය දේශපාලන තත්ත්වයක් බව කිව යුතුයි. ඒ බව මනාව අවබෝධ කර ගනිමින් මේ සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට සූදානම් බව මා ප්‍රකාශ කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා, සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් අදහස් දැක්වූ අතර, අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න