ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයෙකුත් අතුරුදන් | දිනමිණ

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයෙකුත් අතුරුදන්

පදක්කම් තුනයි

කළු පැල්ලම් 4යි

එංගලන්තයේ බර්මින්හැම්හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි වී සිටි ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයකු ද ඊයේ අතුරුදන් වී තිබේ. මෙසේ අතුරුදන් වී ඇත්තේ කිලෝග්‍රෑම් 67-71 බර පන්තියේ ක්‍රීඩක විටාලිස් නික්ලස් නැමැති ක්‍රීඩකයායි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පදක්කම් 3ක් දිනා මව්බිමට කීර්තිය ගෙන දෙද්දී සිව්දෙනකු කළු පැල්ලම් ඇති කිරීම සම්බන්ධයෙන් බර්මින්හැමහී දැඩි කතාබහක් හටගෙන තිබේ.

මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ අතුරුදන් වූ සිව්වැනි ශ්‍රී ලාංකිකයා බවට බොක්සිං ක්‍රීඩකයා පත් වේ. මෙයට දින දෙකකට පෙර ජූඩෝ කණ්ඩායමේ කළමනාකරු, ක්‍රීඩිකාවක් හා මල්ලවපොර ක්‍රීඩකයෙක් අතුරුදන් වූහ.

පෙරේදා අතුරුදන්වූ ක්‍රීඩකයා බොක්සිං තරගයක් නරඹමින් සිටියදී තම ශරීර කෘත්‍යය උදෙසා වැසිකිළියට යෑමට අවශ්‍ය බව ක්‍රීඩාගාරයේ සිටි තම පුහුණුකරුට පවසා ගොස් නැවත පැමිණ නැත. මේ සම්බන්ධයෙන් පැවති මූලික පරීක්ෂණයකදී බොක්සිං පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානියාට වාර්තා කොට ඇත්තේ ක්‍රීඩකයාගේ ඇඳුම් ආයිත්තම් සියල්ල කාමරයේ දමා ගොස් ඇති බවය.

මෙයට දින කිහිපයකට උඩදී ශ්‍රී ලංකා පිලේ අතුරුදන්වීම් වාර්තා වීමත් සමඟ බර්මින්හැම්හී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ගේ ගුවන් ගමන් බලපත්‍ර සියල්ල තම භාරයේ ඇති බැවින් අතුරුදන්වූ බොක්සිං ක්‍රීඩකයාගේ විදෙස් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය සතුව ඇතැයි අප කළ විමසීමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ගාමිණී ජයසිංහ මහතා පැවසීය.

විටාලිස් නික්ලස් මේ ක්‍රීඩා උලෙළේදී සැමෝවා ක්‍රීඩකයා වෙතින් පරාජය වී ඇති අතර අනතුරුව පෙරේදා පැවති තම සහෝදර ක්‍රීඩකයකුගේ තරගයකට සහාය පළ කිරීම උදෙසා බර්මින්හැම් ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ බොක්සිං ක්‍රීඩාගාරයට පැමිණ ඇත. මේ ක්‍රීඩකයා කිළිනොච්චියේ ධර්මපුරම් නාදන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, පසුගියදා පැවති බොක්සිං තරගාවලියකදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගත්තේය.

අතුරුදන් වූ බොක්සිං ක්‍රීඩකයා පිළිබඳ සියලු තොරතුරු ක්‍රීඩා ගම්මානයේ පිහිටි පුද්ගලයන් අතුරුදන්වීමේ පොලිස් ඒකකය හා එංගලන්ත මෙට්‍රොපොලිටින් පොලීසිය වෙත දීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා පැවසීය.

ප්‍රින්ස් ගුණසේකර එංගලන්තයේ බර්මින්හැම් සිට...

නව අදහස දක්වන්න