ගොදුරු සොයා ආ කඳුකර කොටියා වහල කඩාගෙන ගෙට වැටිලා | දිනමිණ

ගොදුරු සොයා ආ කඳුකර කොටියා වහල කඩාගෙන ගෙට වැටිලා

සුනඛයකු දඩයම් කිරීම සඳහා ලුහුබැඳ පැමිණි කඳුකර කොටියකු වතු නිවෙසක වහල මතට පනින අවස්ථාවේ වහලය කඩාගෙන නිදන කාමරයකට වැටී නිවෙස තුළ කොටු වීමේ පුවතක් ලිඳුල ලෝගී වතුයායෙන් වාර්තා වේ.

පෙරේදා (04) රාත්‍රි 10.30ට පමණ මේ සිද්ධිය සිදුව ඇති අතර, කොටියා වැටීමෙන් කලබලයට පත් නිවැසියන් එළියට දිව ගොස් දොර වසා දමා දිවි බේරා ගෙන තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි වතු කම්කරුවන් හත් දෙනකුගෙන් සමන්විත පිරිසෙන් එක් අයකුට කඳුකර කොටියා විසින් පහර දීම නිසා ඔහු ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට මාරු කර යවා තිබේ. රන්දෙණිගල වන සත්ත්ව රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු වනජීවි නිලධාරීන්, නුවරඑළිය, හග්ගල වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහ ලිඳුල පොලිසියේ නිලධාරීන් එක්ව වතු නිවෙසේ දොර ජනෙල් ලී දඬු යොදා ආරක්ෂිත වටපිටාවක් සකසා කාමරය තුළ කොටුව සිටි කොටියා නිර්වින්දනය කිරීමට පියවර ගන්නා ලදි.

මේ කොටියා පැය 16ක් පමණ කලබලකාරීව හැසිරෙමින් සිට ඇති අතර, නිර්වින්දනයෙන් පසු ආරක්ෂිතව රැගෙන ගොස් කැලෑවකට මුදා හැරීමට පියවර ගත් බව වනජීවි නිලධාරීහු පවසති.නිවෙස් හිමියා වන එස්. සුරේෂ් කියා සිටියේ (04) දින රාත්‍රි 10.40ට පමණ තමන් රුපවාහිනිය නරඹමින් සිටියදි එකවරම විදුලිය විසන්ධි වූ බවත්, එම අවස්ථාවේ දැඩි අයහපත් කාලගුණයක් පැවති බවත්ය. එකවරම විශාල ශබ්දයක් ඇසුණු අතර, පසුව ගොස් පරීක්ෂා කිරීමේදි කඳුකර කොටියකු තමන්ගේ ගෙල දෙසට පැන්න බවත් එම අවස්ථාවේ කඳුකර කොටියාගෙන් මිදී බිරිය සහ දරුවා රැගෙන නිවෙසේ දොර වසා එළියට පැමිණ දිවි බේරා ගත් බවත් කීවේය. ලෝගී වතුයායේ තේ වත්තේ සැරිසරන කඳුකර කොටින් රාත්‍රී කාලයේ ගොදුරු සොයා වතු නිවෙස්වලට පැමිණෙන බවත්, එසේ පැමිණි කඳුකර කොටියකු වතු කම්කරුවන් ඇති කරන සුනඛයකු ගොදුරු කර ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ මේ අනතුරට පත් වී ඇති බවට ලිදුල පොලිසිය සැක කරයි.

හැටන් රංජිත් රාජපක්ෂ සහ හැටන් චන්දන ජයවීර

නව අදහස දක්වන්න