එකම කාසියක දෙපැත්ත | දිනමිණ

එකම කාසියක දෙපැත්ත

චීනයේ ඉවසීම පරීක්ෂාවට ලක් කරමින් අමෙරිකාවේ මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක නිරත වෙද්දී, සිය පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකාවට එවීමෙන් චීනය ඉන්දියාවේ ඉවසීම පරීක්ෂා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්ධන පිරවීමට සහ සෙසු සේවා පහසුකම් ලබා ගැනීමට මේ මස 11 වැනිදා හම්බන්තොට වරායේ නැංගූරම්ලෑමට නියමිත ‘යුවැන් වැන්ග් 5’ නමැති මේ නෞකාව සම්බන්ධව මේ වන විට ඉන්දියාවේ දැඩි අවධානය යොමු වී ඇති අතර, බලවත් අප්‍රසාදයක්ද පළ කර ඇතැයි වාර්තා වේ. අමෙරිකාවේ කථා නායිකා නැන්සි තායිවානයට පා තැබීම ද ඒ හා සමාන අප්‍රසාදයක් චීනයට ඇති වූ අතර, ඔවුන් මේ පිළිබඳ දැඩි විවේචනයට ලක් කරනු ලැබුවේ පෙලෝසිගේ ආසියා සංචාරය ආරම්භ වීමටත් පෙර සිටය. එය එක් අතකින් චීනයට අයත් බව කියන තායිවානයේ සංචාරය කිරීම ඒකීය චීනය ප්‍රතිපත්තිය පිළිගන්නා අමෙරිකාව ඒ සඳහා මීට දශක කිහිපයකට පෙර අත්සන් කරනු ලැබූ ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවටත් චෝදනා එල්ල වී තිබිණි. චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එවැනි පසුබිමකදීය.

යුවැන් වැන්ග් 5 නෞකාව අරබයා ඉන්දියාවේ අවධානය යොමු වීමට සහ එය ඉතා උනන්දුවෙන් නිරීක්ෂණය කිරීමට හේතු වී ඇත්තේ එම නෞකාව චීන මහජන විමුක්ති හමුදාවේ උපාය මාර්ගික ආධාරක බළකාය විසින් චන්ද්‍රිකා සහ අන්තර්මහාද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැඳීම සඳහා භාවිතයට ගනු ලබන්නක් බැවිනි. චීනය එකළ මේ නෞකාව භාවිතයට ගනු ලැබුවේ සිය අහස් සීමාවට ඉහළින් නොවන ආකාරයේ දියත් කිරීම් සිදු කෙරෙන චන්ද්‍රිකා නිරීක්ෂණය කිරීමටය. පසුව වැඩි දුරටත් ප්‍රතිසංස්කරණයට ලක් කරමින් යුවැන් වැන්ග් 3, යුවැන් වැන්ග් 4 වශයෙන් නවීකරණය කරන ලැබූ අතර, යුවැන් වැන්ග් 5 යනු එම වර්ගයේ අධිතාක්ෂණික මෙවලම් අතින් ඉහළින්ම ඇති අතිනවීනතම නෞකාවය. එය තවත් අතකින් ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස ද දේශපාලන විශ්ලේෂකයෝ හඳුන්වති.

කිලෝමීටර් 750ක තරම් දුරක් නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් යුතු බැවින් එම නෞකාවට ශ්‍රී ලංකාවේ සිට නැගෙනහිර ඉන්දියාවේ කටයුතු නිරීක්ෂණය කළ හැකි බවත්, ඉන් අවදානමක් මතු වන තත්ත්වයක් පවතින බවත් වැඩි දුරටත් වාර්තා වේ. එබැවින් වාණිජ කටයුතු සඳහා පමණක් භාවිත කරනු ලබන බවට චීනය හා ඉන්දියාව අතර ගිවිසුමෙහි සඳහන් වන බැවින් යුවැන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණීම එම ගිවිසුම උල්ලංඝනය කිරිමක් බව ඊයේ පෙරේදා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන්දියාවට පමණක් නොව යුරෝපීය හා අමෙරිකා මහද්වීපයන්ද මේ නෞකාවේ ඉලක්ක වනු ඇතැයි එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ මුහුදේ සිට ඉලක්ක කළ හැකි බහුවිධ අත්හදා බැලීම් සිදු කිරීම චීනයේ සැලසුම වී ඇතැයි අනුමාන කරමිනි.

සදෙව් රත්නායක

නව අදහස දක්වන්න