තායිවාන-චීන ගින්නට පිදුරු දමන අමෙරිකාව | දිනමිණ

තායිවාන-චීන ගින්නට පිදුරු දමන අමෙරිකාව

චීනයේ බලවත් විරෝධය හමුවේ අමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා නැන්සි පෙලෝසි ඉකුත් අඟහරුවාදා තායිවානයේ චාරිකාවක යෙදීමත් සමඟ චීන-අමෙරිකා සබඳතා අරබයා උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අමෙරිකා කථානායිකාවගේ මෙම සංචාරය සිදු වූයේ චීන ජනාධිපති ෂී ජිංග් පිංග් විසින් මීට පෙරද තායිවානය පිළිබඳ අමෙරිකාවේ ක්‍රියා කලාපය “ගින්දරත් සමඟ සෙල්ලම් කිරීමක්” වනු ඇති බවට ප්‍රකාශ කර තිබූ පසුබිමකය.

මෙය ‘එක් චීනයක්’ (One China) පිළිබඳ ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බව චීනය පෙන්වා දේ. තායිවානය සැලකෙන්නේ චීනයටම අයත් ප්‍රදේශයක් වශයෙනි. එය වෙනම රාජ්‍යයක් බවට පත් වීමට දරන ප්‍රයත්නයට කවර හෝ පාර්ශ්වයක් විසින් සහාය පළ කිරීම යනු චීනයේ ස්වෛරීභාවයට එරෙහි වීමක් බව චීනයේ ස්ථාවරයයි. ‘එක් චීනයක්’ පිළිබඳ ප්‍රතිපත්තිය අමෙරිකාව පිළිගෙන ඇත. කථානායිකා පෙලෝසිගේ මෙම සංචාරය එය මෙන්ම චීනය හා අමෙරිකාව අතර එකඟතා තුනක් ද උල්ලංඝනය කිරීමක් බව චීනය ප්‍රකාශ කරයි. ඉකුත් අඟහරුවාදාම චීනයේ අමෙරිකා තානාපති නිකොලස් බර්න් විදේශ අමාත්‍යාංශයට කැඳවා මෙම සංචාරය පිළිබඳ විරෝධය පළ කිරීමට හා මේ ගැන විමසීමට චීන විදේශ අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි. එහිදී නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා තානාපතිවරයා හමුවේ මේ පිළිබඳ තම රටේ විරෝධය පළ කර ඇති අතර, කරුණු විමසූ බව වාර්තා විය. පෙලෝසිගේ සංචාරය නියමිතව තිබියදී ඉකුත් සෙනසුරාදා චීනය තායිවාන සමුද්‍රසන්ධිය ආශ්‍රිත මුහුදු කලාපයේ යුද අභ්‍යාසයක නිරත විය. රොනල්ඩ් රේගන් නෞකාව ඇතුළු යුද නෞකා කිහිපයක් දකුණු චීන මුහුදු කලාපයට යැවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

අවි ගනුදෙනු

අමෙරිකාව ප්‍රකාශ කරන්නේ එක් චීනයක් පිළිබඳ ස්ථාවරයෙන් තමන් බැහැර වී නැති බවය. කෙසේ වුවද තායිවානයට සිය ආරක්ෂාව සඳහා ක්‍රියා කිරීමට අයිතියක් ඇතැයි අමෙරිකාවේ පිළිගැනීමය. චීනයේ බලවත් විරෝධය හමුවේ අමෙරිකාව තායිවානය සමඟ අමෙරිකා ඩොලර් මිලියන 750ක අවි ගනුදෙනුවකට එළැඹීම සඳහා ජනාධිපති ජෝ බයිඩන් සිය අනුමැතිය දුන් බව ද වාර්තා වී තිබේ.

තායිවානය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගෙන නැති අතර, චීනයටම අයත් ප්‍රදේශයක් බව පිළිගැනීමය. එබැවින් අමෙරිකාව තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නේ නැත. එසේ වුවද අවි ගනුදෙනු හා වෙළෙඳ ගනුදෙනු සිදු කරයි. තායිවානයට අවි සැපයීමට අමෙරිකාව තීරණය කිරීම තම ආරක්ෂාවට එල්ල වන තර්ජනයක් ලෙස චීනය කල්පනා කිරීම සහේතුකය. ඉහළම පෙළේ අමෙරිකා නියෝජිතයකු මෙලෙස තායිවානයේ චාරිකාවක යෙදුණේ 25 වසරකට පසුවය. මීට පෙරද මෙලෙස චාරිකාවක යෙදී තිබුණේ එවක කථානායක නෙවිට් ගිංග්රිච්ය. එවරද එය දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි චීනය හා අමෙරිකාව අතර මෙවැනි උණුසුම් අර්බුද මින් ඉහත තුන් අවස්ථාවකදී ඇති වී තිබේ. ඒ, 1954, 1958 හා 1990 ගණන්වල මැදභාගයේදීය. එම අවසන් අවස්ථාවෙන් දශක දෙක හමාරකට පමණ පසුව යළිත් දෙරට අතර මෙවැනි උණුසුමක් ඇති වීම එම සිව් වැනි අවස්ථාවය.

තායිවානයේ නිදහස

චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂී ෆෙංග්, අමෙරිකා තානාපතිවරයාට ද දන්වා ඇති පරිදි පෙලෝසිගේ තායිවාන සංචාරය චීන-අමෙරිකා සබඳතාවන්ගේ පදනමට බරපතළ බලපෑම් ඇති කරන කාරණයකි. එලෙසම එය චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ද වේ. තවද තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සාමය හා ස්ථාවරත්වයට විශාල බලපෑමක් ඇති කරන කාරණයක් ද වේ. ෂී ෆෙංග් පවසන්නේ ‘තායිවානයේ නිදහස’ පිළිබඳ බෙදුම්වාදී හමුදා වෙත වැරැදි සංඥාවක් යැවීමක් ලෙස ද අමෙරිකාවේ මෙම ක්‍රියා කලාපය සැලකිය හැකි බවය. මෙය අතිශයින්ම බරපතළ තත්ත්වයක් බව චීනයේ අදහසය. මෙහිදී අමෙරිකා රජය විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළ යුතු යැයි ද එක් දෙයක් පවසමින් වෙනත් දෙයක් ක්‍රියාත්මක කිරීම නොකළ යුතු යැයි ද චීනය පවසා ඇත. එසේ කිරීම ‘එක් චීනයක්’ පිළිබඳ ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බව චීනය පෙන්වා දේ. පෙලෝසිගේ සංචාරය හේතුවෙන් ඇති වන අනර්ථකාරී බලපෑම් ආපසු හැරවීම සඳහා අමෙරිකාව නොපමාව ප්‍රායෝගිකවම ක්‍රියා කළ යුතු බව පවසන චීනය එසේ නැත හොත් සිය වැරැදි වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවා දැමීමට ඔවුන්ට සිදු වනු ඇති බව ද සඳහන් කර ඇත. චීනයේ අභ්‍යන්තර කටයුතු සඳහා අත පෙවීමට අමෙරිකාවට අයිතියක් නැති බව ද චීනය ප්‍රකාශ කර තිබිණි.

තායිවානය යනු චීනයට අයත් භූමියක් බව ද මවුබිම කෙරෙහි ඇති බැඳීම එය නිරන්තරයෙන් පළ කරනු ඇති බව ද චීන ජනතාව අවතාර, යක්ෂයන් හෝ පීඩනය හේතුවෙන් බිය ගැන්විය නොහැකි බව ද චීනය අවධාරණය කර තිබේ.

මීට දෙමසකට ඉහතදී අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටියේ යම් හෙයකින් චීනයෙන් ප්‍රහාරයක් එල්ල වුව හොත් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තායිවානයට අයිතියක් ඇති බවය. එහිදී තායිවාන හමුදාවට අමෙරිකා සහාය ලැබෙනු ඇති බවය. එවරද එම ප්‍රකාශය චීනයේ විරෝධයට හේතු වූ අතර, අමෙරිකාව ගින්දරත් සමඟ සෙල්ලම් කිරීමට සැරසෙන්නේ යැයි පෙන්වා දී තිබිණි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ චීනය ආරක්ෂාව තර කර තිබුණ ද තායිවානයට ප්‍රහාරයක් එල්ල කරනු ඇත යන අනුමානයක් මත යුද අවදානමකට අත වැනීම කවර හෝ පාර්ශ්වයක් විසින් සිදු නොකළ යුතු බව පැහැදිලිය. දැනටමත් යුක්රේන යුද්ධය හේතුවෙන් ඇති වී තිබෙන බලපෑම් ලෝකයට පීඩාකාරීව දැනෙමින් තිබියදී තවත් ගැටුමක් ඇවිළවීම යනු කිසි සේත් නොසිදුවිය යුතු තත්ත්වයකි.

සාමය හා ස්ථාවරත්වය

ජනාධිපති බයිඩන් සිය ප්‍රකාශය මඟින්, එක් චීනයක් පිළිබඳ අමෙරිකාවේ ස්ථාවරයේ වෙනසක් සිදුව නැති වුවද එය බලහත්කාරය මත සිදු නොවිය යුතු බව ද දක්වා තිබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳ පෙන්ටගන බලධාරීන්ගේ ප්‍රතිචාරය වූයේද එය අමෙරිකා ස්ථාවරය වෙනස්වීමක් ලෙස නොසැලකිය යුතු බවය. ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටියේ ජනාධිපතිවරයා පැවසූ පරිදිම ‘එක් චීනයක්’ පිළිබඳ ප්‍රතිපත්තිය වෙනස් වී නැති බව සහ තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වය පිළිබඳ අමෙරිකාවේ කැපවීම එලෙසම බවය. යම් හෙයකින් චීනය තායිවානය ආක්‍රමණය කළ හොත් තායිවානයේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වන්නේ දැයි ඉහළ පෙළේ අමෙරිකා හමුදා ප්‍රධානියෙක් වන ජෙනරාල් මාර්ක් මිලිගෙන් වාර්තාකරුවන් විමසූ විට ඔහු ප්‍රතිචාර දැක්වූයේ තම උපදෙස, අවස්ථානුකූලව ජනාධිපතිවරයා වෙත සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කරන බවටය.

පෙන්ටගනයේ ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය ඉකුත් බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැදි දුර කාලතුවක්කු අවි පද්ධති 40ක් තායිවානයට සැපයීම සඳහා අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු අනුමැතිය ලැබී ඇත. මෙය ඇ. ඩො. මිලියන 750ක ගනුදෙනුවකි. මෙවැනි පියවරක් ගැනීම අන්තර්ජාතික නීතියට සහ ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයේ මූලික සිද්ධාන්තවලට ද පටහැනි බව චීනයේ අදහසයි. එසේම එය චීන-අමෙරිකා අගෝස්තු 17 ඒකාබද්ධ ප්‍රකාශනය ද ඇතුළුව ප්‍රකාශන තුනක් උල්ලංඝනය කිරීමක් බව ද චීනය පෙන්වා දී ඇත. මෙලෙස තායිවානයට අවි සැපයීම යනු චීන-අමෙරිකා සබඳතාවන්ට බරපතළ ලෙස බලපෑම් ඇති කරන කාරණයක් මෙන්ම තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ස්ථාවරත්වයට හා සාමයට දැඩි තර්ජනයක් එල්ල කිරීමක් බව ද චීනය සඳහන් කර තිබේ.

කථානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය පිළිබඳ අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරි ප්‍රකාශ පිළිබඳ එම නම් සඳහන් කිරීමෙන් තොරව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව ප්‍රතිචාර දැක්වූයේ, එමඟින් අමෙරිකා ආධිපත්‍යය හා අහංකාරය පිළිබිඹු වන්නේය යනුවෙනි.

අමෙරිකා කථානායිකාව

මෑත වසර ගණනාවක් තිස්සේ තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය ‘එක් චීනයක්’ පිළිබඳ ප්‍රතිපත්තියට පටහැනිව ක්‍රියා කරමින් සිටින බව පෙනෙන්න තිබේ. තායිවානයේ නිදහස අරබයා ඔවුන් අමෙරිකා හිතවාදී පිළිවෙතක පිහිටා සිටින බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි. කථානායිකා පෙලෝසිගේ සංචාරයත් සමඟ ඇති වූ උද්දාමයෙන් ද එය පිළිබිඹු වේ. තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිත කලාපයේ සාමය හා ස්ථාවරත්වය බිඳවැටීමක් සිදු වුව හොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම අමෙරිකාව භාර ගත යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව පවසා තිබිණි. එහිදී චීනයට සිය ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පූර්ණ අයිතියක් ඇතැයි ද ඇය පෙන්වා දී තිබිණි. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් අමෙරිකාව ඉතිහාසයේ සිදු කළ වැරැදි යළි යළිත් සිදු නොකළ යුතුය යන්න චීනයේ අදහසය. තායිවානය සම්බන්ධයෙන් වර්තමානයේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය අමෙරිකා කථානායිකාවගේ සංචාරය හේතුවෙන් නිර්මාණය වූවක් බව පැහැදිලිව දිස් වේ. සිය සංචාරය නිමවා ඇය නික්ම ගිය ද එමඟින් ඇති වූ අර්බුදකාරී තත්ත්වය සමනය වීමක් සිදුව නැත. එසේම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් තව තවත් ගැටලු ඇති වීමට මේ තත්ත්වය බලපානු ඇතැයි ද පෙනෙන්න තිබේ. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන පරිදි අමෙරිකාවේ කථානායක විධායකය නියෝජනය කරන ධුරයක් නොවේ. එසේ වුවද එම පදවිය ධුරාවලිය අනුව දෙවැනි වන්නේ ජනාධිපති ධුරයට පමණි. මේ හේතුවෙන් අමෙරිකා කථානායිකාවගේ විදේශ සංචාරයකදී ඉහළම මට්ටමේ පිළිගැනීමක් ද සිදු වනු දැකිය හැකිය. තායිවානය ද කථානායිකා පෙලෝසි ඉහළින්ම පිළිගැනීමට ක්‍රියා කර තිබිණි. කථානායිකාවගේ සංචාරය හේතුවෙන් සිය පිළිවෙතේ කිසිදු වෙනසක් සිදුව නැතැයි අමෙරිකාව ප්‍රකාශ කර ඇත. කෙසේ වුවද එය හුදෙක් සාමාන්‍ය සංචාරයක් ලෙස පමණක් දැකිය හැකි වන්නේ ද නැත.

ධම්මික සෙනෙවිරත්න

 

නව අදහස දක්වන්න