ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම අරමුණයි | දිනමිණ

ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම අරමුණයි

ඉසුරු කුමාර ගුවන්තොටුපොළේදී කියයි

බර්මින්හැම් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී බර එසවීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 55 බර පංතියෙන් තරග කර ලෝකඩ පදක්කම දිනා ගත් වයි.ඩී. ඉසුරු කුමාර ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියේය.

අනාගතයේදී මාතෘ භූමියට ඔලිම්පික් පදක්කමක් රැගෙන ඒම තම අරමුණ බව එහිදී අදහස් දක්වමින් පැවසූ ඉසුරු කුමාර මේ දස්කම් දැක්වීම සඳහා තම ක්‍රීඩාවට සහයෝගය දෙන ශ්‍රී ලංකා යුද හමුදාවට සහ ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයට සිය ස්තුතිය පළ කරන බවත් කියා සිටියේය.

ඔහු පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබූ අතර, ඉසුරුගේ සොහොයුරා, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති එච්.පී.ආර්. බණ්ඩාර සහ ශ්‍රී ලංකා යුද හමුදා නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් ශ්‍රීනාත් ගාල්ලගේ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල
ඡායාරූපය - ටී.කේ.ජී. කපිල

නව අදහස දක්වන්න