නීතිපති කාර්යාලයට කැඳවූ හිටපු ජනපති ට්‍රම්ප් තොරතුරු ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරයි | දිනමිණ

නීතිපති කාර්යාලයට කැඳවූ හිටපු ජනපති ට්‍රම්ප් තොරතුරු ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරයි

පවුලේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් සම්බන්ධව ප්‍රකාශයක් දීමට අමෙරිකාවේ නිව්යෝක් නුවර නීතිපති කාර්යාලයට කැඳවූ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් නීතිපති කාර්යාලයේ නිලධාරීන් නොමඟ යවමින් විමර්ශනවලට අවහිර කිරිමේ උත්සාහක නිරත වූ බවට නිලධාරින් චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

රජයේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ ඩොලර් බිලියන ගණනාවක වත්කම් සහිත ට්‍රම්ප් සංවිධානය වාසිදායක ණය සහ බදු සහන ලබාගැනීම සඳහා වත්කම් සැඟවීමේ ප්‍රයත්නයක යෙදෙන බවය. නීතිපති කාර්යාලයට පැමිණිමෙන් පසු සත්‍ය තොරතුරු ප්‍රකාශ කරන බවට දිවුරුම් දීමක් සිදු කළද, හිටපු ජනාධිපතිවරයා නිලධාරීන් ඇසූ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දී නැති බවත් වාර්තා වේ. අනතුරුව නීතිපති කාර්යාලයෙන් පිටතට පැමිණි ට්‍රම්ප් නීතිපති ලෙටිෂියා ජේම්ස් සහ පුළුල් විමර්ශනය විවේචනය කරමින් ප්‍රකාශයක් ද නිකුත් කර ඇති අතර, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සෑම පුරවැසියකුටම ලබා දී ඇති අයිතිවාසිකම් සහ වරප්‍රසාද යටතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ කර තිබේ.

 

නව අදහස දක්වන්න