බිරිය ගෙදරින් ගියැයි දරුවන් බලා ගැනීමට බැරිව සැමියා මාර ගහේ එල්ලෙන්න හදලා | දිනමිණ

බිරිය ගෙදරින් ගියැයි දරුවන් බලා ගැනීමට බැරිව සැමියා මාර ගහේ එල්ලෙන්න හදලා

මිද්දෙණිය පොලිස් වසමට අයත් දෙබොක්කාව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකු වීරකැටිය පොලිස් ස්ථානය ආසන්නයේ මාර ගසකට නැඟ ගෙලට තොණ්ඩුවක් දමා සියදිවි නසා ගැනීමට සැරසෙද්දී වීරකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් විජේතුංග මහතා මැදිහත්ව බේරා ගන්නා ලදි. පෙරේදා(14) සිය දස හැවිරිදි දරුවෙක්ද සමඟ පැමිණ ඇති මෙම පුද්ගලයා දරුවා බිම සිටියදී ගසට නැඟ ගෙලට තොණ්ඩුවක් ගැට ගසාගෙන අනෙක් කෙළවර ගසෙහි අත්තක ගැටගසා සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබේ.පොලිස් ස්ථානාධිපති විජේතුංග මහතාට සිද්ධිය සැලවීමෙන් පසු වහාම එම ස්ථානයට පැමිණ අදාළ පුද්ගලයා සමඟ සුහදව කථා කරමින් ගැටලුවලට විසඳුම් ලබාදෙන බව පවසා ගසෙන් බස්සවා පොලිස් ස්ථානයට රැගෙන යන ලදි. සිය පියා ගසෙහි සිට සියදිවි හානි කර ගන්නා බව පවසද්දී දස හැවිරිදි දරුවා බිම සිට හඬමින් සිටි අයුරු එහි සිටි සියලු දෙනාගේ නෙතට කදුලක් නැගීය.පොලිස් පරික්ෂක විජේරත්න මහතා සහ කාන්තා පොලිස් පරික්ෂක අනෝමා මහත්මිය දරුවා තුරුල් කරමින් අස්වසන අයුරු ද දක්නට ලැබිණි.සිය බිරිය මේ වනවිට තමන් හා දරුවන් හැරදමා ගොස් ඇති බවත් දරුවන් රැකබලා ගැනීමට වෙනත් කිසිවකු නොමැති බැවින් තමන් කළ රැකියාවද නතර කර නිවෙසට පැමිණ සිටින බවද මොහු පැවසීය.එම හේතුවෙන් දැනට ආදායම් මාර්ගයක් නොමැති බවත් දරුවන් පාසල් යන බැවින් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමටවත් මුදල් නොමැති බවද පැවසූ මොහු දරුවන් වෙනුවෙන් ආහාර සපයා ගැනීමටද නොහැකි වී ඇති බවද පැවසීය.

මැදමුලන සමූහ - එච්. ඒ. පී. සමරවික්‍රම

නව අදහස දක්වන්න