රටට ආදරේ නම් නීති විරෝධී ලෙස සල්ලි එවන්න එපා | දිනමිණ

රටට ආදරේ නම් නීති විරෝධී ලෙස සල්ලි එවන්න එපා

වරලත් ගණකාධිකාරී ආර්. ඒ. ජයවීර

  • අපට විදේශ මුදල් හිඟකමක් නැහැ
  • හවාලා - උන්ඩියල් මුදල් වැය කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමටයි
  • “රැකගමු ශ්‍රී ලංකා අරමුදල” රට වෙනුවෙන්

විදේශ ප්‍රේෂණ අපහරණය, හවාලා සහ උන්ඩියල් උගුල, විදේශ මුදල් හිඟකම ඇතුළු වර්තමානයේ අප මුහුණ දෙන අභියෝග ජය ගත හැකි මඟ පිළිබඳව වරලත් ගණකාධිකාරී ආර්. ඒ. ජයවීර මහතා සමඟ කළ සාකච්ඡා සටහනයි මේ.

l මේ වනවිට අප රට මුහුණ දී තිබෙන සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ දෙනා කියන්නේ, අපේ රට ගැඹුරු ප්‍රපාතයකට ඇදවැටී තියෙනවා කියලයි. නමුත් මාගේ විග්‍රහය නම්, අපේ රට ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටී නැති බවයි. අපේ රට අද දවසේ පත්ව ඇත්තේ ප්‍රපාතයකට ඇදවැටීමක් නොවෙයි. තල්ලු කර දැමීමක්. මේ තත්ත්වයට අප රට තල්ලු කර දැමුවෝ කවුරුන් ද? වැරැදිකරුවන් අල්ලා දීමට ඉදිරිපත් වන්නේ කවුරුන් ද? යන්න පිළිබඳව සමාජය දැන ගත යුතුයි. එසේ කළ අයට විරුද්ධව දඬුවම් දිය යුතු යැයි සමාජයේ කතිකාවක් පවතියි. නමුත් එවැන්නක් මේ වන තෙක් සිදු වී නැහැ.

l එසේ සිදු නොවන්නේ මන්ද?

එසේ සිදු වන්නේ වැරැදිකරුවන් අල්ලා දීමට කිසිවකු ඉදිරිපත් නොවන නිසයි. ඒ නිසා සියලු රට වැසියන්ට මේ මොහොතේ දඬුවම් ලැබීමට සිදු වෙලා. පාසල් කාලයේදී යම් වරදක් කළ ළමයකු අල්ලා ගැනීමට නොහැකි වූ විට සියලුම ළමයින් දණ ගස්වා දඬුවමට යටත් කරන ආකාරයක් අප කවුරුත් දන්නවා. එවැනි ස්වරූපයක් තමයි අද සිදු වෙලා තියෙන්නේ. අද ප්‍රමාණවත් තරම් ඉන්ධන, ගෑස්, විදුලිබලය, බෙහෙත් ලබා ගැනීමේ ප්‍රශ්නයකුත් මතු වෙලා. මේවාට විසඳුම් දීම වෙනුවට තවදුරටත් ජනතාව පීඩාවට පත්වෙමින් තිබූ කාලයක් තිබුණා.

l අපේ රට ආර්ථික වශයෙන් ආ පස්සට ඇද දැමූ හේතු මොනවාද?

ඇත්ත වශයෙන්ම අපි ආර්ථික වශයෙන් බිඳ වැටීමට පව් පහක් කරලා තියෙනවා. හොරකම, බොරුව, වංචාව, නාස්තිය සහ අල්ලසයි. ඇතැම් ජාතීන් වශයෙන් පොහොසත් වීමටත්, ඇතමුන් දුප්පත් වීමටත් තවත් අය නැඟී සිටීමටත්, තවකෙක් ඇද වැටීමටත් හේතු මොනවාදැයි විග්‍රහ කර බැලිය යුතුයි. එවැනි විග්‍රහයක් කර බැලීමේදී ඩැරන් ඇසිමොග්ලු හා ජේම්ස් ඒ. රොබින්සන් වැනි විද්වතුන් කළ කී දෑ මතකයට නඟා ගත යුතුයි. දේශපාලන, ආර්ථික සංවිධාන තිබෙන ජාතීන් දියුණු වන බවත්, ටික දෙනෙක් ධනය සහ සම්පත් අපහරණය කරන තැන පිරිහෙන බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා. අප රට වැනි රාජ්‍යයන් මේ වන විට මුහුණ දී තිබෙන ආර්ථික ආගාධයේ වැටී සිටීමට ඉහත කී පස් පවු හේතු වී තිබෙනවා. ඊට අමතරව තවත් හේතු තියෙනවා.

l ඒ මොනවාද?

නිදහසින් පසු මේ රට පාලනය කළ සියලු රජයන් අඩු වැඩි වශයෙන් අදූරදර්ශී හා නොමේරු තීරණ සහ පරිණත නොවූ තීන්දු ගෙන කටයුතු කර තිබීම මීට හේතුවී තිබෙනවා. බදු කප්පාදු කිරීම්, ගැසට් මඟින් මිල පාලනය කිරීමට උත්සාහ කිරීම්, වෙළෙඳපොළ සංඥා නොතකා විනිමය අනුපාත තීරණය කිරීම වැනි කරුණු නිසා ආර්ථිකය අගාධයට ඇද දමා තිබෙනවා.

l මේ වනවිට රට මුහුණ දී තිබෙන විශාලම අර්බුදය විදේශ මුදල් හිඟකමයි. එය සිදු වන්නේ කෙසේද?

මෙම කරුණේදී මගේ විග්‍රහය නම්, රටට ලැබීමට නියමිත විදේශ මුදල් විශාල ලෙස අපහරණයක් සිදු කරන බවයි. මෙය මහා ජාවාරමක් බවට පත් කර තිබෙන බවයි. අපට විදේශ මුදල් හිඟමක් නැහැ. නමුත්, සිදුව තිබෙන්නේ නීත්‍යනුකූල නොවන මාර්ගයෙන් විදේශ මුදල් එවීමයි. නීත්‍යනුකූල මාර්ගවලින් බැංකු පද්ධතිය හරහා මුදල් එවන්නෙ නැති කමයි.

l විදේශ මුදල් අපහරණයක් සිදු වන්නේ කෙසේ ද?

හවාලා සහ උන්ඩියල් යන නමින් ක්‍රියාත්මක වන යටිබිම්ගත (පාතාල) මුදල් හුවමාරු යන්ත්‍රණයක් හරහායි මෙය සිදු වන්නේ. භාණ්ඩ ආනයනය කරන ඇතැම් ව්‍යාපාරිකයින් ආනයනික භාණ්ඩවලින් කොටසක් ඇතැම්විට 50%-70%ක් විදේශ සැපයුම්කරුවාට ගෙවන්නෙ හවාලා හා උන්ඩියල් ක්‍රමයටයි. අනෙක් කොටස පමණක් ඉන්වොයිසියේ හා ණයවර ලිපියේ දක්වා තිබෙනවා. මෙලෙස ඉන්වොයිසියේ දක්වා තිබෙන ණයවර ලිපියේ දක්වා තිබෙන ප්‍රමාණයට පමණයි තීරු බදු, වැට් බදු හා අනෙකුත් ගාස්තු ගෙවන්නෙ. මේ තුළින් රජයට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වෙනවා. එමෙන්ම විදේශ විනිමය ලැබීමේ ජාවාරමක් සිදු කරනවා.

l මෙම ජාවාරම හරහා රටට අත්වන අවාසි මොනවාද?

රටට ලැබීමට තිබෙන විදේශ මුදල් අපහරණය කරන්නා වූ මහා ජාවාරමක් නිසා අද වනවිට රටට මහත් උපද්‍රවවලට මුහුණදීමට සිදු වී තිබෙනවා. එයින් ප්‍රධාන වශයෙන් සිදු වන්නේ රට තුළට ලැබීමට තිබෙන විදේශ මුදල් අතරමඟදී පැහැර ගැනීමයි. දෙවැන්න රජයේ ආදායම අහිමි කිරීමයි. තුන්වැන්න කූටෝපායන්ගෙන් රාජ්‍ය ප්‍රතිපත්ති අබිබවා යාමයි. මෙය කිසිවිටකවත් රටකට, පොදු මහත් ජනතාවට වාසිදායක තත්ත්වයක් නම් ඇති කරන්නක් නොවෙයි.

l නීත්‍යනුකූල රාමුවට පිටින්, රේගුවට පිටින් මෙරටට එවන මුදල් සම්පූර්ණයෙන්ම යොදා ගන්නේ කුමන ආකාරයේ වැඩ පිළිවෙළවලටද?

සත්‍ය ලෙසම නෛතික රාමුව තුළ නොකරෙන්නා වූ ද රේගුව හරහා නොයවන්නා වූ ද නීති විරෝධීව සිදු කරන විදෙස් මුදල් ජාවාරම සම්පූර්ණයෙන්ම යොදවන්නේ මත්ද්‍රව්‍ය වැනි නීති විරෝධී භාණ්ඩ මෙරටට ගෙන්වීමටයි. හවාලා හා උන්ඩියල් පාතාල ගනුදෙනු ක්‍රමය හරහා උපයා ගන්නා විදේශ මුදල් වැය කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමටයි.

l එය සිදු කරන ආකාරය පැහැදිලි කළ හැකි ද?

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවේදී එකතු කරන්නේ රුපියල්. මේ රුපියල් එකතු කර ගන්නා මොවුන් විදේශ මුදල් බවට ඒවා පත් කර ගන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින් උපයන විදේශ මුදල්වලට රුපියල් ගෙවීමෙනි. ඔවුන්ට රුපියල් ගෙවන අතර ඔවුන්ගේ විදේශ මුදල් ජාවාරම්කරුවන් ඒ හරහා රඳවා ගනියි. මෙහිදි විදේශ මුදල් උපයන ශ්‍රී ලාංකිකයින් අනියමින් දායක වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අවශ්‍ය විදේශ මුදල් ලබා දීමටයි.

l විදේශගත ශ්‍රී ලාංකිකයින් එසේ ක්‍රියා කරන්නේ ඇයි?

සත්‍ය ලෙසම ඔවුන් එසේ ක්‍රියා කරන්නේ නීත්‍යනුකූලව බැංකු පද්ධතිය හරහා මෙරටට එවන මුදල්වලට වඩා වැඩි මුදලක් උන්ඩියල් හා හවාලා ක්‍රමවේදයන්ට එවන මුදල්වලට ජාවාරම්කරුවන් ගෙවන නිසයි. මෙය ඇතැම්විට ඩොලරයකට රුපියල් 10 ක 20 ක වැඩි වටිනාකමක් විය හැකියි. නමුත් ඔවුන් මුළුමහත් ජාතියටම අභාග්‍ය සම්පන්න බවක් එක්කරන මත්කුඩු ජාවාරමට අනියමින් උදවු කිරීමක් සිදු කරන බව සමහරවිට නොදන්නවා විය හැකියි. අප කළ යුත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මේ තත්ත්වය පැහැදිලි කර දී ඔවුන් හැකි තරම් දුරට මේ ක්‍රියාවලියෙන් බැහැර කිරීමට පියවර ගැනීමයි.

l හොර පාරෙන් විදෙස් මුදල් හුවමාරු වනවාට අමතරව අප රටේ අපනයනකරුවන් ද තම ආදායම් නිසි ලෙස මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නෙ නැහැ නේද?

ඔව්. අපේ රටේ අපනයන ඉපයීම්වලින් කොටසක් විදේශයන්හි තබා ගැනීමට ඇතැම් සමාගම් සහ පිරිස් කටයුතු කරනවා. එලෙස ක්‍රියාකරන පිරිස තම මුළු ආදායම රජයට නොපෙන්වා බදු ආදායම් ලබාදීම් මඟහැර යනවා. එයත් රටට ආදරය කරන පුරවැසියකු නොකළ යුත්තක්.

l විදේශ විනිමය ඉපැයීම් සම්බන්ධව කටයුතු කරන අයට දිරිදීම් ලබාදීමක් කළ යුතුයි නේද?

විදේශ විනිමය උපයන ව්‍යාපාරිකයින්ට දිරිගැන්වීමක් ලැබෙන අයුරින් විදේශ විනිමය කළමනාකරණය කිරීම සඳහා වසර 1968දී හොඳ උපකරණයක් භාවිතයට ගත්තා. එය විදේශ විනිමය හිමිකම් සහතිකපත්‍රය (විවිහිස) ක්‍රමය (foreign exchange entitlement certificate – FEECS) මේ ක්‍රමයෙන් සිදු කරන ලද්දේ කෙනෙකු විදේශ විනිමය උපයන ප්‍රමාණයට සමානුපාතිකව ඔහුට දෙන විනිමය හිමිකම් ක්‍රමයක් පිරිනැමීමයි. එම හිමිකම් භාවිත කර අවශ්‍ය නම් තමන්ට යම් භාණ්ඩයක් ආනයනය කිරීමට ඉඩකඩ ලබාදීමයි. මෙම ක්‍රමය ක්‍රියාත්මක වූයේ ආනයන සීමා පනවා තිබියදීයි. දැනුත් ආනයන සීමා තිබෙන නිසා අපනයනකරුවන්ට එවැනි ලකුණු ක්‍රමයක් ලබා දී ලකුණු වැඩි නම් සීමාකොට තිබෙන භාණ්ඩයක් හෝ මෙරටට ගෙන්වා ගැනීමට ඉඩ ලබාදීමට ක්‍රියා කළ යුතුයි. එය ආනයනකරුවන් දිරිමත් කිරීමට උපක්‍රමයක් වෙනවා. මෙවැනි ක්‍රමවේද තව තවත් පුළුල්ව සිතා පෙලඹීමට අප පියවර ගත යුතුයි.

l විදේශ විනිමය හිඟ කමෙන් මිදීමට අප වහා කළ යුත්තේ කුමක්ද?

දැන් අප රට ගොඩ ගැනීම සඳහා අරමුදල දෙකක් පිහිටුවා ගැනීම අවශ්‍යයි. එකක් විදේශ විනිමය මුදල් ගිණුමක් නැත්නම් ඩොලර් අරමුදලක් විය යුතුයි. අනික ශ්‍රී ලංකා රුපියල්වලින් ගනුදෙනු කරන රුපියල් ගිණුම් අරමුදලක් විය යුතුයි.

l එය පැහැදිලි කළ හැකි ද?

පළමුව අප පිහිටුවීමට යෝජිත විදේශීය මුදල් උපයෝගි කර ගන්නා අරමුදල ගැන කතා කරමු. මේ මොහොතේ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගැනීමට කලක් ගත වෙයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ඉක්මනින් සිදු නොවෙයි. මෙවැනි තත්ත්වයක් තුළ රට තුළට ගලා යන විදේශ මුදල් ප්‍රවාහයන් ස්ථාපිත කර ගැනීමක් කළ යුතුයි. බැංකු පද්ධතියට පිටතින් කැලෑ පාරෙන් මෙරටට එන විදේශ මුදල් ප්‍රවාහයන් වළකාලිය යුතුයි. ඒ සඳහා අප කළ යුත්තේ සැබවින්ම අරමුදලක් පිහිටුවීමයි.

මෙම අරමුදලට විදේශයන්හි පදිංචිව සිටින හෝ රැකියා කරන පිරිසගෙන් විදේශ මුදල් ලබා ගත හැකිය. ඊට අමතරව මව්බිම දෙස මහත් උනන්දුවෙන් පිටරට සිට බලා සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් දායකත්වය ලබා ගැනීම කළ හැකියි. මෙලෙස අරමුදලක් ගොඩනඟා ගැනීමේදී එක්වර හෝ වාරික කිහිපයකින් ඩොලර් 5000 බැගින් තැන්පත් කළ හැකි ලක්ෂ දෙකක පිරිසක් දායක වුවහොත් ශ්‍රී ලංකා අරමුදලට ඩොලර් බිලියන එකක් සොයා ගත හැකියි. මෙය අධිතක්සේරුවක් විය හැකියි. මාසයකට ඩොලර් සියය බැඟින් තැන්පත් කරන ලක්ෂ පහක් දෙනා ඉදිරිපත් වුවහොත් මාසයකට ඩොලර් මිලියන 50ක අරමුදලක් ගොඩ නඟා ගත හැකියි. මාසයකට ඩොලර් 10 බැගින් තැන්පත් කරන දස ලක්ෂයක් දෙනා අපට සිටියහොත් මාසයකට ඩොලර් මිලියන 10ක මුදලක් තැන්පත් වෙයි. එවන් අරමුදලක් ගොඩනැඟීම හරහා අපට, අප දමා ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට පහසුවක් වෙයි.

l එවැනි අරමුදලක් පිහිටුවා ගැනීමට ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද?

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට “රැකගමු ශ්‍රී ලංකා අරමුදල” නමින් අරමුදලක් පිහිටුවා ගැනීමට දායක වන ලෙස ආයාචනා කළ හැකිය. මෙම ආයාචනය පිහිටුවීමට යෝජිත අරමුදල් භාරකාර මණ්ඩලය හෝ රට බේරා ගැනීමේ වෙනත් භාරකාර මණ්ඩලයක් මඟින් කළ යුතුයි. මෙම අරමුදලේ ගිණුම් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යා යුතුයි. එමෙන්ම විනිවිද භාවයෙන් යුක්තව අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යා හැකි ගිණුමක් විය යුතුයි. ගිණුමේ ක්‍රියාකාරිත්වය ලැබෙන මුදල් හා කරන ගෙවීම් අනුග්‍රහක තැන්පත්කරුවන්ට බලා ගැනීමට හැකි විය යුතුයි. භාරකාර මණ්ඩලය විසින් ආණ්ඩුවේ මැදිහත්වීමකින් තොරව ස්වාධීනව අරමුදල් පරිහරණය කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කළ යුතුයි.

l අරමුදලේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද?

මෙම අරමුදලින් කළ යුත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට විදේශ මුදල් සැපයීම හා රාජ්‍ය ණය ආපසු ගෙවීම පමණි.

l මෙම අරමුදලට අමතරව ආයෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් වූ සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කළ හැකි යමක් තිබේද?

ඔව්. ඒ සඳහාද විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වයෙන් පස් අවුරුදු කාලයක් සඳහා ණය අරමුදලක් පිහිටුවා ගැනීම ද කළ හැකිය. එවැන්නක් විදේශගත තැන්පතු භාරගන්නා අලුත් බැංකුවක් ලෙස හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අංශයක් ලෙස පිහිටුවිය හැකියි. මෙමඟින් කොන්දේසි විරහිතව ණය මුදල් ලබා ගත හැකියි. එකම කොන්දේසිය ගිවිසුම් ප්‍රාකාරව ආකර්ෂණීය පොලියක් සමඟ තැන්පතු මුදල ආපසු ගෙවීම පමණි. මෙවැනි අරමුදලක් ගොඩනැඟීම සඳහා උදව් කිරීමට දේශ දේශාන්තරවල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය නොමසුරුව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

l රුපියල් අරමුදලක් ගොඩනැඟෙන්නෙ කොහොමද?

එය සිදු කරන්නේ මෙරටට පරිත්‍යාග ලෙස මුදල් ලබා දෙන අයගෙනි. දේශීය වශයෙන් රුපියල් ලබා ගෙන ගොඩනඟන මේ අරමුදලින් විදේශයන්ගෙන් මෙරටට සල්ලි එවන අයට අමතරව රුපියල් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කළ හැකියි. එවිට ඔවුන් බැංකු ක්‍රමය හරහා මුදල් එවන්න බලයි. එහෙම වුණොත් විදේශ මුදල් ගෙන්වා ගැනීමට මහජන ආධාර එකතුවක් ලෙස මේ අරමුදල ගොඩ නඟා ගත හැකියි. 1997දී ආසියානු මූල්‍ය අර්බුද අවස්ථාවේදී ඉන් ගොඩ ඒමට තායිලන්තයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා, ආගමික ස්ථාන, සිවිල් ප්‍රජාව අරමුදලක් පිහිටුවා ගැනීමට කටයුතු කළා. ඔවුන් එසේ කටයුතු කළේ රට රැක ගැනීමේ අරමුදලක් ගොඩ නැඟීමටයි. අපටත් එවැනි දෙයක් කිරීමට කාලය පැමිණ තිබෙනවා.

ජයසිරි මුණසිංහ

ඡායාරූපය - හිරන්ත ගුණතිලක

 

නව අදහස දක්වන්න