ලංකා බැංකුව මෙවරත් ලොව විශිෂ්ටම බැංකු 1,000 අතරට | දිනමිණ

ලංකා බැංකුව මෙවරත් ලොව විශිෂ්ටම බැංකු 1,000 අතරට

‘ජාතියේ මහා පහන්ටැඹ‘ ලංකා බැංකුව මෙවරත් ලොව ප්‍රමුඛ බැංකු 1,000 අතර ශ්‍රී ලාංකේය අංක 1 ස්ථානය නැවතත් තහවුරු කර ගැනීමට සමත් වී ඇත. පසුගිය වසරේදී මේ ශ්‍රේණිගත කිරීමේදී 853 වැනි ස්ථානය ලබා සිටි ලංකා බැකුව ස්ථාන 53කින් පෙරට එමින් මේ වසරේදී 800 වැනි ස්ථානය දක්වා උසස් වී තිබීම විශේෂත්වයකි.

ලොව පුරා ප්‍රමුඛ පෙළේ බැංකු 5,000 කට අධික සංඛ්‍යවක දත්ත පරිශීලනය කරමින් වාර්ෂිකව සම්පාදනය කෙරෙන The Banker සඟරාවේ ශ්‍රේණිගත කිරීමට අනුව ලොව හොඳම බැංකු 1,000 අතරට නම් වීම ගෝලීය වශයෙන් යම් බැංකුවක ස්ථාවරත්වය තහවුරු කරන බව පිළිගැනෙන කරුණකි. ගෝලීය වසංගත හා ආර්ථික අවපාත මධ්‍යයේ ලොව පුරා ඇති මූල්‍ය ආයතන දැඩි ලෙස පීඩාවට පත් වී ඇති මොහොතක පවා වත්කම් පදනම වර්ධනය කර ගනිමින් මෙවන් ජයග්‍රහනයක් ලබා ගැනීම ලංකා බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය සහ මනා කළමනාකරීත්වයේ සාර්ථකත්වය පිළිබිඹු කරයි. එමෙන්ම රුපියල් ට්‍රිලියන හතර ඉක්මවන වත්කම් පදනමකින් සහ රුපියල් ට්‍රිලියන තුනකට වැඩි තැන්පතු පදනමකින් යුත් මෙරට පළමු දේශීය බැංකුව වන්නේද ලංකා බැකුවයි.

‘‘අභියෝගාත්මක කාලයේ පවා නොසැලී ලබා ඇති මූල්‍ය ප්‍රගතිය මගින් ලංකා බැංකුව ශ්‍රී ලාංකේය බැංකුකරණයේ ප්‍රමුඛයා බවට නැවතත් තහවුරු කර තිබෙනවා. ගෝලීය වශයෙන් ඇගයීමට පාත්‍ර වීම සහ මේ ජයග්‍රහනය ලබා ගැනීමට හැකි වීම ඉහත කරුණ යළි යළිත් සනාථ කරනවා. ඒ පිළිබඳ අප නිහතමානීව ආඩම්බර වෙනවා‘‘ මෙහිදී අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා කීය.

මේ ජයග්‍රහනය සඳහා ලංකා බැංකුව සතු විශ්වසවන්ත පාරිභෝගික පදනමේ දායකත්වය අවධාරණය කරමින් ලංකා බංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි මහතා මෙසේ පැවසීය. ‘‘දශක අටකට වැඩි ඉතිහාසය තුළ ලංකා බැංකුවේ අඛණ්ඩ සාර්ථකත්වයට බෙහෙවින් ශක්තියක් වුණේ අපගේ විශ්වසවන්ත දෙස් විදෙස් ගනු-දෙනුකරුවන්. ඒ නිසාම මෙරට ප්‍රමුඛ මූල්‍ය සේවා සපයන්නා බවට පත් වීමට අපට හැකියාව ලැබී තිබෙනවා. දශක ගණනාවක් පුරා ඔවුන් අප කෙරෙහි තැබූ අසීමිත විශ්වාසයට කෘතවේදීත්වය පිරිනමනවා.‘‘

 

නව අදහස දක්වන්න