චීනයේ අලුත්ම වයිරසය ලෝකයටම පත්තු වෙයිද? | දිනමිණ

චීනයේ අලුත්ම වයිරසය ලෝකයටම පත්තු වෙයිද?

වර්තමානය වන විට චීනය ආර්ථික හා යුද ශක්තිය අතින් අනෙකුත් රාජ්‍ය හමුවේ බලවන්තයකු ලෙස නැඟී සිටියද, පසුගිය වසර කිහිපය තුළ අතිශය අර්බුදකාරී වාතාවරණයන්ට මුහුණ දුන් රටකි. ඊට හොඳම නිදසුනක් වන්නේ 2019 වසරේ අග භාගයේදී චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ව්‍යාප්ත වූ කොවිඩ්-19 උවදුරයි. එපමණක් නොව ලෝකය පුරා එය තර්ජනයක් බවට පත් වීමට කාලයක් ගත වූයේ නැත. එහෙත් ඉන් වඩාත් පීඩාවට පත් රටවල් අතරට ඉතාලිය, ඉන්දියාවේ වැනි රාජ්‍ය එක් වන විටත් චීනය මෙම වසංගත වයිරසයෙන් බැට කමින් තිබිණි.

කොවිඩ් වසංගතය පැතිරීමත් සමඟ එය පැන නැඟුණු ආකාරය පිළිබඳව නොයෙක් ආකාරයේ අදහස් ඉදිරිපත් විණි. වඩාත් ප්‍රබලව ගොඩනැඟුණු මතය වූයේ ක්ෂීරපායි සත්වයකු වන වවුලකු මඟින් එය ප්‍රභවය ලබන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට චීනයෙන් තවත් නවතම ආකාරයේ වයිරසයක් හඳුනා ගැනීමට එරට වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබේ. එය ඔවුන් නම් කර ඇත්තේ ලන්ග්‍යා වයිරසය යනුවෙනි. ඔවුන් පවසන අයුරින් මේ වන විට කිසිවකු ඉන් මිය නොගියද එය සුළුවෙන් තැකීමට හැකි කාරණාවක් නොවේ. මන්දයත් කොවිඩ් වයිරසය ව්‍යාප්තියේදීද එය සාමාන්‍ය උණක් ලෙස සැලකූ හෙයිනි.

පළමුවැනි රෝගියා

ලන්ග්‍යා වයිරසය ආසාදනය වූ පළමු රෝගියා සොයා ගත්තේ 2018 වසරේදීය. එම වසරේ දෙසැම්බර් මාසයේදී ෂැංඩොං පළාතේ නගරයක උණ, හිසරදය, කැස්ස වැනි රෝග ලක්ෂණ සහිත 53 හැවිරිදි ගොවියකු ප්‍රතිකාර ගැනීමට පැමිණීමත් සමඟ මෙම නව වයිරසය පිළිබඳ දැනුම්වත් වීමට වෛද්‍යවරුන්ට හැකි විය. ඉන් පසු ඉදිරි මාස 32ක පමණ කාලයක් තුළදීද ක්‍රමයෙන් එම වයිරසය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීමට වෛද්‍යවරු සමත් වූහ.

සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බෝ වන රෝග අංශයේ ප්‍රධානී මොනකා ගාන්ධි ප්‍රකාශ කරන්නේ මෙම ලන්ග්‍යා වයිරසය හෙනිප නම් කුලකයට අයත් වන බවයි. එමෙන්ම මෙය වවුලන් හෝ ඌරන් වැනි සතුන් මාර්ගයෙන් මිනිසුන්ට ආසාදනය වන බවද ප්‍රකාශයේ තවදුරටත් සඳහන්ය.

චීනයේ වෛද්‍යවරුන් විසින් ලන්ග්‍යා වයිරසය සොයා ගැනීමට පෙර එහි විවිධ තත්ත්ව යටතේ පවතින ආකාර පහක් හඳුනා ගැනීමට සමත්ව තිබේ. එහිදී මතු වූ විශේෂිතම කාරණාව වන්නේ වයිරසය මහජනතාව තුළ ඉතා වේගයෙන් පැතිරීමට හේතු වන බවත් ඉහළ මරණ අනුපාතයක් දක්වා එහි රෝග කාරක මතුවෙමින් පැවතිය හැකි බවත්ය. මෙම මූලිකම කරුණ නිසා පැහැදිලිව මතුව එන ගැටලුව වන්නේ හෙනිප කුලයට අයත් වන වයිරසය ව්‍යාප්ත වීම තුළ තුළ කවරාකාරයේ සිදුවීම් මාලාවක් ඉදිරියේ ඇති විය හැකිද යන්නයි.

පසුගිය වසර වන විට චීන සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන සිටින අන්දමට වයිරසය ආසාදනය වූ රෝගීන් 35 දෙනකු සොයා ගැනීමට සමත්ව තිබේ. එහෙත් නිල නොවන වාර්තා අනුව රෝගීන් සංඛ්‍යාව මීට වඩා වැඩි බව කිව යුතුය. මෙම රෝගීන් සොයා ගැනීමට සමත්ව තිබෙන්නේ චීනයේ ෂැංඩොන් හා හෙනාන් ප්‍රදේශවලිනි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන විද්‍යාඥයෝ වයිරසයේ පැවැත්ම සඳහා මුල් වන්නේ යැයි සැක කරනු ලබන සතුන් කිහිප දෙනකුම පරීක්ෂාවට ලක් කරන්නට කටයුතු කළහ. ඒ අතුරින් එළුවන් හා බල්ලන් මූලික කරගෙන පරීක්ෂණ කටයුතු සිදු කළද වයිරසයයේ ආරම්භය වශයෙන් හඳුනාගනු ලැබුවේ වෙනත් කුඩා සත්ත්ව විශේෂයකි. මීයන්ට සමාන පෙනුමක් ඇති එම සත්වයා ලොව සිටින කුඩාම ක්ෂීරපායි සතුන් ගණයට අයත් වේ. ලන්ග්‍යා වයිරසය ආසාදනය ආසාධනය වූවන්ට ආවේණික රෝග ලක්ෂණ කිහිපයක්ම හඳුනා ගැනීමට සමත්ව ඇති අතර, ඒ අතරින් උණ කැස්ස, වමනය හා තෙහෙට්ටුව ප්‍රධාන වේ.

පර්යේෂණ

චීනය තුළ දුසිම් ගණන් රෝගීන්ගේ ව්‍යාප්තියත් සමඟ මෙම වයිරසය ආසාදන හැකියාව සහ ව්‍යාප්ත වීමේ හැකියාව නිරීක්ෂණය කටයුතු ඉතා ශීඝ්‍රයෙන් සිදු විය. මේ අතුරින් New England Journal Of Medicineහි සඳහන් කරන ලද කරුණුවලට අනුව නැ‍ඟෙනහිර චීන පළාතේ පුද්ගලයන් 35 දෙනකුට ආසාදනය වී ඇති බව හඳුනා ගන්නා ලදී. එමෙන්ම 'තායිපේ ටයිම්' සඳහන් කර සිටින්නේ මේ මොහොත වන විටත් දක්නට ලබන කරුණු අනුව මෙම රෝගය ගෘහ ආශ්‍රිත සතුන් අතරින් පමණක් ආසාදනය වන බවයි. එසේම පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමක් මේ මොහොත වන විටද දක්නට නැති බවයි.

චීනය තුළ ලන්ග්‍යා වයිරසය ව්‍යාප්ත වීම සිදු වීම ආරම්භ වුවද අනෙකුත් රටවල් පවා මේ සම්බන්ධයෙන් වඩාත් උනන්දුවක් දැක්වීමට කටයුතු කරන්නේ මීට වසර දෙකකට පමණ ඉහත කෙටි අතීතය ලෝකයටම අමිහිරි මතක ඉතිරි කළ බැවිනි. ඒ චීනයෙන් ආරම්භ වූවා යැයි විශ්වාස කරනු ලබන කොවිඩ් 19-වයිරසය නිසා 2019 අග භාගයේ සිට මේ මොහොත දක්වා මිලියන හයකට වඩා ජීවිත බිලි ගැනීමට සමත් වූ බැවිනි. ලන්ග්‍යා වයිරසය පිළිබඳව තවදුරටත් අදහස් ප්‍රකාශ කරනු ලබන සිංගප්පූරුවේ Dukenus වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයකු වන වැන්ග් ලින්ෆා පවසන්නේ පුද්ගලයන් අතර වයිරසය හුවමාරු වීමක් දක්නට නොලැබෙන නිසා මෙන්ම දැනට සිටින රෝගීන් බරපතළ නොවන නිසා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවයි. එහෙත් අවධානයෙන් සිටීම වැදගත්ය.

රෝග ලක්ෂණ

හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශගුණය සෞඛ්‍ය සහ ගෝලීය පරිසරය පිළිබඳ මධ්‍යස්ථානයද මේ පිළිබඳව කරුණු දක්වමින් පවසන්නේ මෙය වයිරසයක් ලෙස සත්වයකු මාර්ගයෙන් පුද්ගලයන්ට බෝ වන්නක් බවයි. නව වයිරසයක් ඇතිවූ පමණින් සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව විශේෂිතය. මන්දයත් ලොව පුරා විද්‍යාඥයන් කරුණු දක්වමින් අදහස් කරන්නේ ඉදිරි වසරවලදීද මිනිසාට හානිදායක මෙවැනි වයිරස පැතිර යෑමට ඉඩ ඇති බැවින් ඒ සඳහා දැන් සිටම සූදානම් විය යුතු බවය.

පෙර සඳහන් කර ඇති පරිදි ලන්ග්‍යා වයිරසයේ රෝග ලක්ෂණ ලෙස වෛද්‍යවරුන් දක්වා ඇත්තේ කැස්ස, හිසරදය, වමනය, උණ සහ අධික තෙහෙට්ටුවයි. වයිරසය ආසාදනය වූ රෝගීන් 100%කට උණ ඇති විය හැකි අතර, අඩකට පමණ කැස්ස සහ ආහාර රුචිය නැති වීම දැකිය හැකි වේ. තවද මේ නිසා රෝගීන්ගෙන් තුනෙන් එකක පමණ අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩාළ විය හැකිය.

කොවිඩ්-19 වයිරසයේ බලපෑම නිසා විටෙක ලෝකයම එක් මොහොතක එක් තැනක නතර විය. එනිසා ඕනෑම වයිරසයක් පැමිණි පසු ඒ පිළිබඳ වෛද්‍යවරුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද වැඩිදුරටත් සොයා බැලීම අරුමයක් නොවේ. එම නිසා මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී සියලු දෙනාගේ අවධානය යොමු වූයේ වයිරසය ව්‍යාප්තිය සිදු වන්නේ කවර ආකාරයෙන්ද යන්නයි. මේ මොහොත වන විට පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට වයිරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බවට සාක්ෂි නැත. එහෙත් එය නියත වශයෙන්ම මිනිසකුගෙන් තවත් මිනිසකුට සම්ප්‍රේෂණය නොවනවා යැයි කීමට ඔවුන් සතු නියැදි ප්‍රමාණවත් නැති බවත් මේ අතරම ඔවුන් පවසා ඇත.

දේශගුණික විපර්යාස

කොවිඩ්-19 මඟින් ලොව පුරා මහත් ඛේදජනක තත්ත්වයක් නිර්මාණය විණි. එම නිසා ලන්ග්‍යා වයිරසය පිළිබඳව නවතම තොරතුරු සහ විස්තර සොයා ගැනීම හරහා වයිරසයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් කරුණු කාරණා අවබෝධ කරගත යුතුය. මේ මොහොත වන විට චීනයේ පමණක් මේ රෝගී තත්ත්වය වාර්තා වන හෙයින් අනෙකුත් රටවල්වල තත්ත්වයද වැඩිදුර විමර්ශන කර ඒ සඳහා සූදානම් විය යුතු බව විද්‍යාඥයන්ගේ මතයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වන ජීවී ක්‍රියාකාරකම් හා දේශගුණික විපර්යාස වැඩිවීමත් සමඟ විවිධ රෝග බහුලව ව්‍යාප්තව යා හැකි බවට අනතුරු අඟවා ඇත. කෙසේ වෙතත් මේ මොහොතේදී හඳුනාගෙන ඇති ආකාරයට සත්ත්වයන් මාර්ගයෙන් හඳුනාගත නොහැකියි වයිරස විශාල ප්‍රමාණයක් මිනිසාට සම්ප්‍රේෂණය වී ඇති බවද දැකිය හැකිය.

ලන්ග්‍යා වයිරසය මේ මොහොතේදී කිසිදු මාරාන්තික වාතාවරණයක් නිර්මාණය කර නැති වුවද, මෑත කාලීන අතීතයේදී කොවිඩ්-19 වසංගත සමය අවබෝධ කර ගැනීම වටී. මන්ද යත්; ඕනෑම වයිරසයක් ඉතා කෙටි කලක් තුළ විකෘතිභාවයට පත් විය හැකි අතර, ඉන් පසු මිනිසාගේ ක්‍රියාකාරකම් මෙහෙයවන්නෙ වයිරසය හැසිරෙන ආකාරය අනුව වීමයි. එම නිසා වර්තමානයේ විය යුත්තේ මේ වයිරසය මහත් විනාශයක් කිරීමට ප්‍රථම වයිරසය පැතිරීම අවම කිරීමට කටයුතු කිරීමයි.

රජිත බස්නායක

නව අදහස දක්වන්න