තල් කොළ පෙට්ටියේ කැවිලි රට පටවන අයේෂා | දිනමිණ

තල් කොළ පෙට්ටියේ කැවිලි රට පටවන අයේෂා

බොහෝ කාන්තාවන් කැවුම්, කොකිස් වගේ රස තැවිලි හදන්නේ අලුත් අවුරුද්දට හෝ උත්සව අවස්ථාවක් වෙනුවෙන්. ඒත් බණ්ඩාරගම පදිංචි අයේෂා ඉමාලිකා හේවාපතිරණ අවුරුද්දේ හැමදාම කැවුම්, කොකිස් ඇතුළු රස කැවිලි රාශියක්ම හදනවා. මෘදුකාංග ඉංජිනේරුවරියක් වන ඇය මේ රසකැවිලි ලෝකයේ රටවල් කිහිපයකටම යවලා අපේ රටට විදේශ විනිමය ගෙන එනවා. මේ ඇගේ කතාවයි.

 

අයේෂා, මොනවද ඔබ කරන්නේ?

මම දේශීය රස කැවිලි හදනවා. කැවුම්, කොකිස්, ආස්මි, පැණි වළලු, අළුවා, කළු දොදොල් සහ වැලිතලප වගේ රස කැවිලි වර්ග කිහිපයක්.

ඔබ මේවා හදන්නේ දේශීය වෙළෙඳපොළට ද? විදේශීය වෙළෙඳපොළට ද?

දෙකටම. විදේශීය වෙළෙඳපොළ කිව්වාම යුරෝපීය රටවල් සහ මැද පෙරදිග රටවල් ඇතුළු රටවල් 17කටත් දේශීය වෙළෙඳපොළේ බස්නාහිර පළාත තුළත්, මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයටත් මේවා යවනවා.

රසකැවිලි හදන ආකාරය ගැන පැහැදිලි කළොත්?

මම මේවා හදන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට. ඒ කියන්නේ ඉස්සර අපේ ආච්චි අම්මලා හදපු විදියට අතින්ම තමයි මේවා හදන්නේ. පච්චපෙරුමාල් සහ සුවඳැල් කියන දේශීය සහල්වල පිටි සහ කිතුල් පැණි වලිනුයි කැවිලි හදන්නේ. මම මේවා අසුරන්නේ තල් කොළ පෙට්ටියේ. මේ නිසා අපේ කැවිලිවලට අපේ රටේ වගේම පිටරටවලත් තිබෙන්නේ සුවිශේෂි තැනක්.

මේ සඳහා ඔබට උදවු කරන පිරිසක් සිටිනවා ද?

වයසක කාන්තාවන් 8 දෙනෙක් මා ළඟ වැඩ කරනවා. මම එයාලට ස්ථිර රැකියා දීලා තිබෙන්නේ. ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්. පවා ගෙවනවා. විශ්වවිද්‍යාල සිසුවියන් කිහිප දෙනෙකුත් කෙටි කාලීනව වැඩ කරනවා. සීසන් කාලෙට රස කැවිලිවලට ඉල්ලුම වැඩි නිසා මට වැඩ වැඩියි. සමහර වෙලාවට ඉල්ලන තරම් බඩු දෙන්නත් බැරි වෙනවා.

ඔබ මාදුකාංග ඉංජිනේරුවරියක්. ඇයි අද මෙවැනි ව්‍යාපාරයකට අත්පොත් තැබුවේ?

මෘදුකාංග ඉංජිනේරුවරියක් විදියට වැඩිදුර අධ්‍යාපනය සඳහා මම ජපානයට ගියා. එහේදි අපට රසකැවිලි කන්න ඕනෑ වුණාම මිල දී ගන්න තැනක් තිබුණේ නැහැ. මේ නිසා මම මෙහෙම දෙයක් කරන්න ඕනෑ කියලා සිතුවා. මේක දෛවෝපගත සිදුවීමක්. මගේ දැනුමෙන් මම අනෙක් අයට උදවු කරන ගමන් නිදහස් ඉංජිනේරුවරියක් විදියට වැඩ කරනවා. මගේ අම්මා විදුහල්පතිනියක්. අම්මගේ අම්මා එක්ක අම්මගේ මහ ගෙදර තමයි අපි පුංචි කාලේ හැදුණේ වැඩුනේ. ආච්චි හැමදාම පුරුද්දට වගේ හවසට කන්න දෙයක් හදනවා. අපි එයාට අත්උදවුකාරයෝ. ආච්චි එක්ක ඉඳලා කැවිලි ජාති ඔක්කොම හදන්න මට පුළුවන් වුණා. රට ගියාම අපේ තිබුණ උත්සවවලට කැවිලි ජාති සොයා ගන්න තැනක් එහේ තිබුණේ නැහැ. අපේ රටෙන් ගෙන්වා ගන්න ඕනෑකම තිබුණත් අපේ රටේ අය ඒවා රට යවන්න පුළුවන් ක්‍රමය දැනගෙන හිටියෙ නැහැ. ලංකාවෙන් පිට ඉන්න මගේ විශ්වවිද්‍යාල යාළුවන්ගේ උත්සවවලට තමයි මුලින්ම මම කැවිලි අපනයනය කළේ. ඊට පසුව තමයි අනෙක් තැන්වලට යැව්වේ. මගේ උපාධිය නිසා මට විවිධ රටවලට යන්න පුළුවන්කම ලැබුණා. එහෙම ගියාම මම අපේ නිෂ්පාදන ගැන ඒ රටවල වෙළෙඳසල්වලට කතා කරලා ඒවා ගැන හඳුන්වා දුන්නා.

කැවිලි හදන්න අමුද්‍රව්‍ය සපයා ගන්නේ කොහොම ද?

දේශීය සහල් ටික අපේ රටේ ගොවියන්ගෙන් මම මිලට ගන්නවා. අතරමැදියන් හරහා නැතිව මම කෙළින්ම ගොවියන් හමු වී සහල් ගන්නවා. අපේ රටේ කාට හරි රතු කැකුළු හරි සුදු කැකුළු සහල් පිටිවලින් කැවිලි ඕනෑ වුණොත් මම එහෙමත් කරලා දෙනවා. කිතුල් පැණිවලින් හදන නිසා මේ කැවිලි සතියක් තබා ගන්න පුළුවනි. සීනිවලින් හැදුවාම කල් තබා ගන්න පුළුවන් වන්නේ දවස් තුනයි.

ඔබගේ මේ නිෂ්පාදන පිටරට යවන ආකාරය ගැන පැහැදිලි කළොත්?

කුරියර් ආයතනයක් එක්ක මම ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා. ඒ අය හරහා තමයි රස කැවිලි පිටරට යවන්නේ. සාමාන්‍යයෙන් දවස් එකහමාරකින් මගේ කැවිලි විදෙස් රටවලට යනවා. ශ්‍රී ලාංකිකයන් වගේම පිටරටවල අයත් මගේ රස කැවිලිවලට බොහෝ කැමැත්තක් දක්වනවා. මෙහේ ඇවිත් පිටරට යන අයත් මගේ රස කැවිලිවල රස බලලා අරගෙන තමයි යන්නේ. මාර්ගගත ක්‍රමයෙනුත් මගේ කැවිලි මිල දී ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ ව්‍යාපාරය සාර්ථක කර ගන්න ඔබට සහයෝගය දුන් අය ගැන කතා තළොත්?

අපනයන සංවර්ධන මණ්ඩලය මට ගොඩක් උදවු කළා. එයාලා නිසා අපේ දැනුම වැඩි වුණා. අපිව පුහුණුවීම්වලට යැව්වා. අපට ගැණුම්කරුවන් සම්බන්ධ කර දුන්නා. ගැණුම්කරුවන්ගේ තොරතුරු අපනයන සංවර්ධන මණ්ඩලය හරහා අපට ලබා ගන්න හැකියාව ලැබුණා.

අයේෂා ඉමාලිකා හේවාපතිරණගෙන් කිසියම් උපදෙසක් ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනකුට [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ ඇය හා සම්බන්ධ විය හැකියි.

 

චතුමී පිටිපන

නව අදහස දක්වන්න